තුන් කල් (නො.)දැක්ම නොහොත් මොල සහ ඔලු

ලංකාවම ලස්සන නගරයක් කිරීමේ අරමුණ ඇතිව නිවාස හා සංවර්ධන අමාත්‍යවරයාගේ මෙහෙයෙවීමෙන් හා ජනාධිපතිතුමාගෙ “අනුග්‍රහයෙන්” පටන් ගන්නට යන වැඩපිලිවෙලක පෝස්ටර් යුද්ධයක් මගතොටදී දුටිමි. මගෙ අදහස නම් අපට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයට එන්නට කියන්නේ ඒ පිලිබදව (ලස්සන ලංකා) යම්කිසි දැනුමක් ලබාගන්නට වන්නට ඇත.

නමුත් බොහෝ දෙනෙකු අදාල කාර්යය සදහා අතගසා ඇති අමාත්‍යවරයා පිලිබදව “පූර්ව විලංභීත” තත්වයකට පත්ව ඇති නිසා 3 වැනිදා පසුකොට “පාලිමන්ට් ග්‍රවුන්ඩ්ස්” පැත්තේ යන්නට තීරණ‍ය කොට තිබේ. ( පවතින අධික වැසි සහිත කාලගුණය හදිසියේ පාත්වූ ආශිර්වාදයක් නොවේ.)

ලංකාව පෙර සිටම ලස්සන රටක් බව අපටද පහල බාලාංශයේ සිටම කියාදී තිබුනත් අලුතෙන්ම ලස්සන කරන්නට යන්නේ කොතැන සිටදැයි නොතේරේ. ඒ පිලිබදව ඉගියක් සපයා දුන් රූපවාහිනි දැන්වීමක් සදහන් කල ආකාරයට මුඩුක්කු, පැල්පත්, ඇල මාර්ග, සිට රෙදි වැල්, කක්කුස්සි දොරවල්. හා මන්දපෝෂනය නිසා බඩ නෙරා ඇති දරුවන්ද චිත්‍රයෙන් ඉවත් කරනු ලැබේ. අලුත් “ලස්සන ලංකාවේ ” තට්ටු ගෙවල්, මල් පාත්ති, සුදුයකඩ වැටවල් හා සුකුමාල තරුණ ජෝඩුද, සපත්තු දා දුවඇවිදින ලස්සන ලමෝද වෙති.

වැඩේ අනගිභවනීයය. වාර්ශික විනෝද චාරිකාවේ පිහිටෙන් කොළඹ නගරයට එන ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වන (එහෙමත් තිබේ !), මීගහකිවුල පැත්තේ ලමෝද, දෛවයේ පිහිටෙන් රටක් තොටක් බලාගත් අප වැනි අයටද මෙවන් ලංකාවක් ප්‍රාර්ථනා කලේ හද පිරි අභිමානයෙනි. මීගහකිවුලේ ලමයින් වැල්පටවල එල්ලී, හැතැක්ම හතර පහක් පයින් බඩගා වේලක් නොකා ඉතුරුකල රුපියල් කිහිපය පූජා කර කොළඹ දකින්නට ආවේත් කොළඹින් රැගෙන ගියේත් මෙකී සිහිනයයි.පාස්පෝට් කන්තෝරුවේ සිට ගුවන්තොටුපල දක්වා “දඩ” ගෙවමින් අප විසින් එතෙර ගොස් ගෙනාවේද එකී සිහිනයමයි. කොළඹ අපට පල් නොවී වතුර ගලා බසින කානුවක්ද වැස්සට දන ලගට අසූචි ගලන්නේ නැති පරිසරයක්ද රැකියාවට යාමට සෙනග උතුරන්නේ නැති බස් සේවාවක්ද ඔනෑ විට (මෙතැන නොකී -අවශ්‍යතා එලෝකොටියක් තිබේ) මීගහකිවුලේ ලමයින්ට “පුස්බයිසිකලයක්” පැදගෙන යා හැකි පාරක්ද එහා මෙහා යාමට ගඟට උඩින් පාලමක්ද ඕනෑ වන්නේ ඒ පරමාර්ථයෙනි. (පාරවල් තමනට අයිති නැති විශයක් නිසා මේ ගැන මහාමාර්ග ඇමතිගෙන් අසාගන්නා ලෙස කියන්නටත් බැරි නැත.)

අප දෙපිරිසම ඉල්ලා හිටින්නේ තට්ටු ගෙවල් හෝ පේලි ගෙවල් හෝ පිඩැළි ඇල්ලූ නිල්දියෙන් පිරි ඇල මාර්ගයන් හෝ සුදුයකඩ අත්වැල් ඇල්ලූ ලමාඋද්‍යාන නොවේ. අපට අමුතුවෙන් ඉගෙන ගන්නට දැකබලාගන්නට “මේලා, සංදර්ශණ, සැණකෙලි ඔනෑ නැත. රූපවාහිනී දැන්වීම්, පෝස්ටර්, ප්‍රචාරණ සැණකෙළි නවතා කරන්නට පුලුවන් විදියේ වැඩපිලිවෙලකි.

අපේ සහෝදර ඇමතිතුමා (පරණ සහෝදරකං දැන් මතක තිබෙන්නට විදියක් නැති බව හොදටම තේරේන්නේ කට ඇරිය විටය.) කියන විදියට මේක ආණ්ඩුවට තනියෙන් කල හැක්කක් නොවේ. ඒ සදහා මිතුරු (අපට නොව )පුද්ගලික ව්‍යාපාරිකයන්ට අරාධනය කර තිබේ. එකී සදහනේ හැටියට මෙය අති විශාල “ප්‍රොජෙක්ට්” රාජයෙකි.  නගරයේ ඉතා වටිනා ඉඩකඩම් සදහා “මිතුරන්” අතර තරගයක් ඇතිවන්නටත් බැරි නැත.

අප දෙපිරිසටම (මීගහකිවුල හා කොළඹ ) මේ විදියේ අති දෑවැන්ත වැඩපිලිවෙල පිලිබදව ඇත්තේ සැකයකි, බියකි.

සැකය නම් නගරයෙන් ඉවත්කරන අති විශාල ජනකණ්ඩායමකට ඇතිවන්නට පහසුකම් සපයයන්නට හා නැවැත පදින්චිකරවීම සදහා ගෙන ඇති වැඩපිලිවලේ මුදල් ප්‍රශ්නය කෙසේ විසදාගන්නෙද යන්නයි. දෙවනුව අති විශාල යෝජනාක්‍රම සදහා දැනටමත් මුදල් හිගව පවතින විටක පාර්ලිමේන්තුව තුල හෝ කැබිනට් මණ්ඩලයේවත් සාකච්චාවට බදුන් නොවූ ව්‍යාපෘතියක් වෙනුවෙන් මුදල් සපයාගන්නා ක්‍රමය කුමක්ද යන්න සහ මෙතරම් මුදල් ප්‍රමාණයක් වැයකර සපයන දැනුම කුමක්ද යන්නයි.

කාගේ හෝ උවමනාව පමනක් මුලට ගත් ව්‍යාපෘතියක් නිසා “විසික්” වූ පිරිස ගැන වගක් නැති කල නිවාස මිලියනයක ව්‍යාපෘතියක් පිලිබද සැක පහල වන්නේ එබැවිනි.  නුමුත් අමාත්‍යවරයා ලබන අයවැයෙන් මේ සදහා ප්‍රතිපාදන ලැබෙන බවට ඇති විශ්වාසය මත ව්‍යාපෘතිය දැන්මම පටන් ගෙන තිබේ. (අතරමග ඇනහිටියත් කාට වග කියන්නද!)

වරෙක නොතිබූ දේවල් අලුතෙන් හදන්නට ගොස්   විධිමත් සොයාබැලීමක් හෝ පූර්ව වාර්තා නැතිකමම බරපතල   අර්බුදයක් දක්වා පරිවර්තනය වී    “යෝධ” ව්‍යාපෘති වූ පෑලියගොඩ ගුවන් පාලම , වීරවිල ගුවන්තොට, ඔලුවිල්(පලමුවර ) හම්බන්තොට (පලමුවර )වරාය වැනි අවස්ථා සදහා වියදම් කල මුදල් අපට අපතේ ගියේය.

සමහර  තැනක තිබූ දේ “ලස්සන” කරන්නට ගොස් බහුතරයට අවලස්සන සමාජ අත්දැකීම් ඉතිරි කලේය.

පිටකොටුව වෙලදුන්  පදිකවේදිකාවෙන් අයින් කර ලස්සන නගරයක් කරවීම උදෙසා තම ජීවිකාව කැප කොට බඩවියත වෙනුවෙන් සොරකමට නීතීවිරෝධී සමාජයකට දොර ඇර දුන් වෙලාවේ පවා ඒ පිලිබද නිවැර්දි වැඩපිලිවෙලක් තිබුනේ නැත.

වරක් සිඟන්නන් ගාල් කොට කොළඹ “ලස්සන” කල අතර වරෙක ඔලුවට කොන්ක්‍රීට් ගල් අතහැර කොළඹ “කැත” කලේය. වරෙක තට්ටු පිට තට්ටු හදා පැල්පත් ඉවත්කල මුත් ජීවන රටාවේ වෙනසක් නොවූ නිසා ඒවා යලිත් ඇතිහැකි අයටම අයිතිවන ඔප්පු ලියවුනේය. නමුත් නාස්තියේ හා දූෂණයේ හා දේපල හොරකමේ කප් ගසා ඇති අපේ රටේ අන්තිම අසරණයයාගේ දේපල වලට   අත තිබ්බේ නැත.

මේ සියල්ලේම වරද අප අත නොවේ එකී වැඩපිලිවෙල “පිලිවෙලක්” ඇතුව නොකල, ව්‍යාපෘතිය හුදු බැනරයකට බෝඩ් ලෑල්ලකට පෝස්ටරයකට සීමා කල දේශපාලකයන්ගේය.

ලාංකීය ජනතාවට ඇති පොදු ගැටලුව (මෙවන් සරුවපිත්තල දේශපාලනයෙන් බිදුණු නොකෙරෙන හා නොකරනු ලබන ව්‍යාපෘතී නොව.) ස්ථීරසාර- නොබිදෙන, ජනතා බදු මුදල් කබාසිනියා නොකරන හා සමාජ යහජීවනය පවත්වාගෙන යා හැකි අදහස් සහිත ඔලු හා මොල නැතිකමයි.

ඒ නිසා තවදුරටත් දවස් දෙකේ වැස්සකට යටවන කොළඹත් දුම්මලසූරිය පැත්තේ අඩි පාරවලුත් හැදෙන ස්ථීරසාර වැඩපිලිවෙලක් සදහා රට ගමන් කරන බවක් පෙනෙන්නට නැත.

එය කෑලී කෑලී ගැලවී ඇති තනි අමාත්‍යන්ශයක් අතට ගත් පමණින් කල නොහැක. ඒ සදහා පුලුල් වැඩපිලිවෙලක් අවශ්‍යය ඒ පුලුල් වැඩපිලිවෙල ක්‍රියාත්මක කරවීම සදහා පදනමක් සහිත රජයේ කැපවීමක් අවශ්‍යය. මොල සහිත ඔලු අවශ්‍යය.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s