මංජු මල්ලි දැන් ඉතිං ක්‍රිකට් ගහමු…

ඉන්දියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලෙදී බොක්සිං තරගයකින් පානුයි පරිප්පුයි කෑ මංජු වන්නිආරච්චි රන් පදක්කම් දෙකක් දිනා ගත්තේ චින්තක විදානගේ පරිප්පුයි බතුයි හා ඇන්ටන් සුදේෂ් බතුයි පරිප්පුයි කා හිතේ දහිරියෙන් රත්තරන් නොවූවත් අපේ හැටියට “රත්තරන්” පදක්කම් දිනා ගත් අතරතුරේය.බොහෝ දුක් ගැහැට විද ගුටිකකා බොක්සිං ගැහූ මංජුට චින්තකට, ඇන්ටන්ට මෙන්ම අපටද රන් පදක්කම ලොවක් වටින්නේය. ගිය වර ආසියානු උළෙල සදහා බොහෝ බලාපොරොත්තු තබා යැවූ මංජු අසමත් වූ වෙලාවේ (ක්‍රීඩාව ජය පරාජය දෙකම එකකි.) කොණ්ඩා මෝස්තරයේ සිට අනුන් විසින් ගැහූ පෝස්ටර වලත් වන්දිය ගෙවන්නට සිදුවිය. බොහෝ මාධ්‍ය ඔස්තාද්ලා මේ ඔක්කොම අනවශ්‍ය පබ්ලිසිටිය නිසා බවත්, ක්‍රීඩකයන්ට එහෙම බලපොරොත්තු  දී පුම්බා අනවශ්‍ය ආතතියකට ඇද දැමීම නිසා “ලංකා මාතාවට” පදක්කම අහිමි වූ බව පැල් බැදගෙන දෙන්නට විය. ඒ අපේ රටේ හැටිය.

මෙවරද මංජුව පිළිගැනීමට ගුවන්තොටුපලේ සිටම ගජරාමෙට ලක ලෑස්ති වෙයි. බැනර් පෝස්ටර් කොඩිවැල් ආදී නේක මාදිලියේ සුබ පැතුම් සමග මංජු පිළිගැනීමට බොහෝදෙනා බලා සිටිති. නියත වශයෙන්ම මන්ජුව ජීප් රථයක නංවා මූණ වැහෙන්නට මල් මාලා පලදවා ගුවන්තොටුපලේ සිට ගෙදරටම ගෙනත් බස්සවනු ඇත. මාධ්‍යයේ මූණ පෙන්න පෙන්නා පදක්කම පෙන්න පෙන්නා මංජුට උපහාර පවත්වනු ඇත. ක්‍රීඩා ඇමතිතුමාගේ සිට අමාත්‍යන්ශයේ පියන් දක්වා උපහාර සැණකෙළි වලට සහභාගී වනු ඇත. සල්ලි පොදි, පිටරට පුහුනු සංචාර, ඉඩං කෑලී,ගෙවල් රස්සාවල්- උසස්වීම් ආදී එකී මෙකී නොකී සබ්බ සකල මනාවම දෙනු ?

මොන ! දෙනු නොව දෙනු බවට පොරොන්දු දෙනු ඇත. ඔනෑනං දුන්නා කියා කියනු ඇත. එහෙත් මංජු හෙට ආයෙත් පරිප්පුයි බතුයි කකා රස්සාවට යනු ඇත. ඕවර්ටයිම් වේලාවේ තව ටිකක් පුහුණුවීම් කරනු ඇත. නිවාඩුවක් දාගෙන රූපවාහිනියේ තොදොල් වැඩසටහනකට ගොස් නිවේදක බබාලා සමග පැයක් දෙකක් නාස්ති කර ලංගම බස් එකක නැගී ගෙදර යනු ඇත. නැවතත් පරිප්පුයි පලා මැල්ලුමයි බතයි ගිලුනු ඇත.

දෙනවා කියූ දේවල් තබා දෙන්නං කියූ අයත් හොයාගන්නට නම් නොලැබෙනු ස්ථීරය.

අපේ ක්‍රීඩාවේ හැමදාම උනේ මෙහෙමය පදක්කම දිනන පරක්කුවෙන් කරේ තියා ෆොටෝ ගන්නා අය හැමදාම මගහැර යන්නේය. පැරදුනොත් පිළිගන්නට තියා තනියට බලු පැටියෙකුවත් නො එන්නේය. පත්තරකාරයෙක් තබා බෝතල් පත්තරකාරයෙක්වත් දකින්නට නොලැබෙන්නේය. එහෙම වුනත් “ලංකාවේ ජාතික ක්‍රීඩාව” වන ක්‍රිකට් වලට එහෙම නැත. දින්නත් පැරදුනත් තෑගි බෝග ගෙවල් දොරවල් යාන වාහන ලැබෙන්නේය. හැමදාම මාධ්‍යයේ පෙනී සිටින්නට කතා කරන්නට හෝ අඩුම ගනනේ දැන්වීම් හෝ ලැබෙන්නේය. මාස්පතා ලක්ස ගනනින් ගෙවන්නේය. එක පාරක් ලකුණු කීයක් හරි හෝ විකට්ටු දෙක තුනක් දා ගත් පමණින්ම වැඩේ ඉවරය. ඊට පසු පෙන්ෂන් යනකං ගොඩය.

හැබයි අනෙකුත් සකලවිධ ක්‍රීඩාවන්ට එහෙම නැත. ඕනෙම නං මල් මාලයක් වගේ දෙයක් ඇරෙන්නට ලැබෙන මංගල්ලයක් නැත.

ඒ  නිසා චින්තකලා බර ඉසුලුවාට මංජු – ලා බොක්සිං ගැහැව්වාට  අනාගතයක් නැත. මේ මහන්සිවිල්ලේ තේරුමක් නැත. ඔය කැපවීම, මහන්සිය දා ක්‍රිකට් ගැහැව්වා නං මෙලහාකටත් ගොඩය -සාමාන්‍ය ව්‍යවහාරයට අනුව “ගොඩේ ගොඩය” .

11න් පහල ක්‍රිකට් ගහන් අයට ලැබෙන පහසුකම් වලින් දසමයක දෙයක් අනෙක් ක්‍රීඩා කරන අයට ලැබෙන්නේ නැත. ලැබුනානං “හොකී” ගහන්ඩ ගිය කොල්ලන් බූරු ඇදන්වල නිදාගෙන රොටියි-පානුයි කකා පරිප්පුවක් කන්නේ නැත.

ඒ නිසා මංජුටත් චින්තකටත් මේ වෙලාවේ හොදම දේ ඔය බර ඉස්සිල්ලත් ගුටි  ගහගැනිල්ලත් පසෙක දමා 11න් පහල කණ්ඩායමට හෝ ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි.

මොනවා උනත් මේ ක්‍රීඩා සියල්ලේම බල- ධරයා එක්කෙනෙකි. තවම අපට “ක්‍රිකට් ක්‍රීඩා ඇමති” ධුරයක් නැති නිසා සියලුම ක්‍රීඩා එතුමාට අයිතිය. (බර ඉසිලීම හෝ බොක්සිං ක්‍රීඩාවක් වශයෙන් සලකනවානම්.)

එහෙම උනොත් නං ගොඩය. නැත්නං පදක්කම අල්මාරියේ දාගෙන රස්සාවක් හොයාගන්නා එක හොදය. මන්ද අපට ක්‍රිකට් ගැසූ අර්ජුන අරවින්ද සනා මෙන් නොව බර ඉස්සූ බොක්සිං ගැහූ චින්තකලා මංජුලා අමතක වීමට යන්නේ සුලු මොහොතකි.

By 47

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s