සපත්තු…

සපත්තු…

Image

මගේ පාසල් හැඳි, සපත්තු විවිධාකාරයේ ඒවා වීම මට සතුටක් ගෙන නොදුන්නද ( ඒවා එක්කො කකුලට වඩා කුඩා වූ අතර සමහර විටෙක ලොකු සපත්තුව ගැලවී ඒම නවත්තන්නට සපත්තුවේ ඉදිරිපසට පත්තර ගුලිකොට ඔබන්නට සිදුවිය.) මගේ සමකාලීන මිත්‍රයනට ඒවා අරුමයන් විය. සමහර සපත්තු විවිධ වර්ණයන්ගෙන්ද හැඩවලින්ද අරුමෝසම් හැඩවලින්ද අනූන වීම තනි කලු සපත්තු පැලැද පාසල් ආ මගේ මිතුරන් අතරේ තරමක “ගතියක්” තිබුනද සමහර ගුරුවරුන්ගේ නොරිස්සුම් නිසා ප්‍රසිද්ධියේ අගය කරන්නට ඔවුන් එඩිතර වූයේ නැත. මේ සපත්තු වෙනස් ආකාරයක ඒවා වීමට හේතුව මා සපත්තු ගැන විශාරදයෙකු හෝ අලුත් මෝස්තර සොයන්නෙකු වීම නොව, මගේ වැඩිහිටි ඥාතී සහෝදරයන් පාවිච්චි කර පසෙකලූ ඒවා වීමයි. ඒවා සොයන්නට මගේ අම්මා කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිදි හැටි හා ඒවා ඉල්ලාගන්නට බයාදු ගති පෙන්වූ හැටි මට තාම මතකය. ඒ මතකයන් තාමත් මගේ මතක චිත්‍ර පොතේ නොසැලී පවතී.
කෙසේ වුවත් අවසානයේ මගේ ලා කොළ පැහැති ඉරීගිය තැන් මසා විකෘති වී පෙනුන සපත්තු කුට්ටම ශිෂ්‍ය නායකයෙකුට  පින්සිදු වන්නට විදුහල්පතිවරයා දක්වා ඇදී ගියේය. එහි අවසන පන්තිය භාර ගුරුවරයා හමුවේ උත්තර බදින්නට සිදුවූයේ මගෙ අහින්සක අම්මාටමය. ජීවිතයේ නොයේකුත් දුක් කම්කටොලු ඇතත් ඒවා නිරතුරු විදගෙන තම ජීවිත වල නිරන්තර පීඩා වලට සැලුනේ නැති ඇය අවසානයේ පන්තිභාර ගුරුවරයා හමුවේ සිය මැසිවිල්ල කියද්දී මට මගේ ලෝකය කඩා වැටෙනු ඇස් පනා පිටම පෙනින. හෙට සිට මට මගේ පාසල් ගමන නතර කරන්නටත් ගේ ඉදිරිපිටින් පාසල් යනෙන මගේ පාසල් මිතුරන්ගෙන් වහන් වන සැටිත් මගේ මනසේ චිත්‍රපටයක් මෙන් ඇදෙන්නේය. මගේ ජීවිතේ පාසල් ගමන නැමැති දුක්ඛ පරිශ්‍රමයෙන් මිදෙන්නට දැන් පුලුවන. දෙල්කද ප්‍රාථමික පාසලේ හොදම ශිෂ්‍යයන් අතර කිසිදා සපත්තු පැළැද නොසිටි   මට අගනුවර මේ පාසලේ සපත්තුවල පාට ප්‍රශ්නයක් වීමම  සිත රිදුම් දෙයි. ඊටත් වඩා පාසල් ඇරී ගෙදර යන අපට පිගාන පිරෙන්නට “මොකක්” හෝ හදාතියන්නට වෙන අම්මාගේ කාලය දැන් මෙහි ගෙවී ගොස් තිබේ. ඉස්කෝලෙටත්, සපත්තු ලැජ්ජාවටත් වඩා මගේ බඩේ ගින්දර ගැන අම්මාගේ පපුව ගිනි ගෙන ඇතැයි මම හොදාකාරවම දනිමි. අන්තිමේ අම්මා පන්තිකාමරයෙන් එලියට ආවේ සාරි කොනකින් කදුලු පිසදාගනිමිනි. ඇයට දෙන්නට උත්තරයක් හෝ මට සපත්තුව වෙනස් කල හැකි ක්‍රමයක් අප දෙදෙනාටම නැති බව හොදාකාර දනිමි. එහෙත් දැන් ජීවිතයේ මැදි වයස පසුකල  මටත් වඩා -එකල තරුණ -අම්මාට තිබුනේ මහා ආත්ම ශක්තියකි.
“මේ වාරේ ඕකම දාලා..ලබන පාර අලුත් දෙකක් අරන් දෙනවා කියලා මo පොරොන්දු වුනා..”
“ලබන පාර ගන්නේ කොහෙන්ද..”
“මමනෙ ඒක බලාගන්නේ..දැන් ඉස්කෝලේ දන්න නිසා ඔහොම යo”
ඉස්කෝලේ සියල්ලන්ම දැනගැනීම මගේ සිත තවත් අවුල් කරයි. එහෙත් මින් පිට මට අම්මා සමග වාදයක් නැත.මගේ සිත රිදී ඇතැත් අම්මාගේ සිත රිදවීමට  බැරි නිසා මට ඉස්කෝලේ යන්නම වෙයි.
පසුදා වුවද මට ඉස්කෝලය පැත්ත පලාතේ යන්නට සිත නොදෙයි. මගෙ මුලු ලෝකයම කොහෙන් හෝ ඉරී,ගැලැවී, සෝදාපාලුවට ගොස් ඇත්තේය.
“මගෙ ඔලුව කැක්කුමයි..”
“ආ… එක පාරටම..” අම්මාට මගේ සිත ගැන සැකයක් නැත. ඔලුව කැක්කුමට වඩා සපත්තු කැක්කුම ලොකු බව ඈ දනී..
එහෙන0 ඔන්න ඔහේ මේ සුමානෙ ගෙදර ඉන්න.. ම0 කොහොමහරි සපත්තු දෙකක් අරන්දෙන්න0..එතකොට ඔය ප්‍රශ්නේ හරියයිනේ…
ගෙදර ඉන්නා දවස් ගෙවෙන්නෙ පුදුම අපහසුතාවෙනි. ඉස්කෝලේ මා ගැන මොනවා කතා වෙනවා ඇත්ද..සපත්තු ගැන..සපත්තු ගන්නට සල්ලි නැත්තේ ඇයි.. තාත්තා කෙනෙක් නැද්ද..උදව් කරන්නට  කෙනෙක් නැද්ද..  ආයේ ඉස්කෝළේ  එන එකක් නැද්ද…වෙන ඉස්කෝලෙකට යයිද..
අනේක විධ ප්‍රශ්නත් කුතුහලයත් ලැජ්ජාවත් මගේ එදිනෙදා පුරුදු පවා අමතක කර ඇත්තේය. ජම්බු ගහේ රතු පාටින් ගෙඩි පිරී ඇතත්, යාපනේ බට් අඹගහේ “ඇහැගහගෙන ” සිටි හොදම ගෙඩි වවුලන් කා යතත් මට වෙනදා මෙන් ඒවා රස -ප්‍රිය නැත්තේය.
ඉස්කෝලේ නොගිහින් ගෙවී ඇත්තේ තවමත් දෙදිනකි. අම්මාගේ සපත්තු ගැනිල්ලේ සේයාවකුද නැත්තේය. මමද දැන් දැන් ඉරිදාපොලේ රස්තියාදුවටත් බෝල ගහන්නටත් පුරුදුවෙමින් සිටිමි…
“අන්න තමුසෙව හොයන්න ඉස්කෝලෙන් ඇවිත්….” හදිසියේම අසල්වැසියෙකුගෙන් පණිවිඩයකි.
ඉක්මනින් ගෙදර දුවන විට ගෙයි ඉස්තෝප්පුවේ කැඩුනු පුටුවේ වාඩිවී සිටින්නේ ශ්‍රේණී භාර ගුරුවරයාය. ඔහු අප දන්නා දරුණුම එහෙත් හිත හොද, ඉගෙනුමට – ඉගැන්වීමට ආදරය කල ගුරුවරයාය. නුගේගොඩ හන්දියේ  රස්තියාදු ගහන කොල්ලන් ලගටම ගොස් කන් අඩි වලට ගසාකොල්ලන් ඉස්සර කරගෙන එන මේ ගුරුවරයා පිළිබද රසවත් කතා මගේ සමකාලීනයන් ඉතා ආදරයෙන් දැනුදු මතක් කරයි.
“ආ…උඹත් දැන් රස්තියාදු ගහන්න පුරුදුවුනා නේද… යකො බලපන් මේ ගෙදරක හැටි..ඉගෙන්ගන්ඩ බැරිනන් අඩුම ගානේ ගේ- ම්දුලවත් අස්කරගෙන..තොපිට කන්ඩ අදින්ඩ දෙන මේ මනුස්සයාට උදව්වක්වත් කරපන්කො..” ඔහුගේ ස්වර තියුණුය එය මාගේ පපුව විනිවිද යයි. අම්මා කවදත් මෙන් මගේ පැත්තමය.
“නෑ ..සර්..මෙයා මට උදව් කරනවා..මමයි කිව්වෙ ගිහින් ටිකක් සෙල්ලන් කරන්න…” අම්මා කීවේ බොරුවක් නොවේ.. දවල් කෑම වේල පිළිබද විස්වාසයක් නැතිකම අම්මාගෙන් රස්තියාදුවට මට රුකුලක් විය. “ආ හරි..ඒ මොක වුනත් උඹ හෙට ඉදලා ඉස්කෝලේ එන්ඩ ඕනේ…ප්‍රශ්නේ සපත්තු දෙකනේ…එකත් ම0 හරිගස්සලා තියෙන්නේ.. උඹ අදම අම්මත් එක්ක ගිහින් සපත්තු දෙකක් ගනින්…හෙට උදේම ඉස්කෝලේ…නාවොත්..මම එකත් බලාගන්නන්…” ඔහු   තර්ජනාත්මකව මදෙස බලන ගමන්ම අම්මා වෙත ලියුම් කවරයක් දික් කලේය. ..
 වතුර වීදුරුවක් පමණක් හිස්කල ඔහු ගෙදරින් යන තුරු මට ඉස්පාසුවක් නැත. අන්තිමේ ඔහු නික්ම ගියෙන් මම දඩි බිඩියේ ලියුම් කවරය ඉරා බැලුවෙමි… කිසිදු සටහනක් නැතුවම එහි රුපියල් දෙසීයකි. එකල සපත්තු ජෝඩුවක් ඕනෑනම් රුපියල් 120-150 පමන විය.
එදා නුගේගොඩ ගොස් අම්මාත් මමත් ආවේ ලොතරැයියක් ඇදුනා ලෙසිනි. මට අලුත් “කලු සපත්තු කුට්ටමක්” එළවලු කිහිපයක් මාලු 250ක් අපේ බඩුමලු අතර විය.එපමනක්ම නොවේ තැපැල් කන්තෝරුව පාමුල බීම කඩෙන් මට සරුවත් එකකි. එදාත් අම්මාගේ බඩ හොදටම පිරී තිබෙන  බැවින් ඈ මගෙ සරුවත් වීදුරුවෙන් උගුරක් බීවාය. මේ අම්මාගේ “බඩ පිරිල්ල” හොද කෑමක්- බීමක් “අපට” ලැබෙන හැම විටම තිබුනාය. ඒ බඩ පිරිල්ල මගේ දරුවන් රස කර කනබොන හැමවිටම මට මතක් වෙයි. දැන් සමහර වෙලාවට මටත් මේ බඩ පිරිල්ලේ රෝගය ඇතිවෙයි. එත් මගේ දරුවන් ඒ ගැන මොනවා හිතනවා ඇද්ද…
පසුදා ඉස්කෝලේ ගමන මට මහා රාජකාරියකි. කලිසමත්, කමිසයත් හේදී දුර්වර්ණ වුව මගේ සපත්තු දෙක අලුත්ය. කිහිප විටක්ම සපත්තු දෙකත් ..ලේස් ගැටේත් ලිහ ලිහා ගැටගැහුවද මට වෙන කිසිවෙකුගේ අවධානය යොමු නොවෙයි. කාටවත් මගේ අලුත් සපත්තු දෙක ගැන උනන්දුවක් නැත. අඩුම තරමේ සපත්තු  ගැනීමට මුදල් දුන් ගුරුවරයාද මා දුටුවත් කතා කලේවත් නැත. අතපසු වූ පාඩම් විවෙක කාලයේ ලියාගනු මිස සෙල්ලමට යනු නැතැයි තර්ජනා0ගුලියක් දැමුවා පමණි. සියල්ලන්ටම මා පාසල් නොආ කාරණය ලෙස උණ සෑදී සිටීම ජීරණය විය. වෙනදාට දවසක් හෝ නොආවොත් පිටු ගනන් පිටපත් කිරීමේ දඩුවමද නැත. සියල්ල සාමාන්‍ය ලෙස ගෙවී ගොස් තිබේ.
සපත්තු දෙක ගැන ඔහුට තුති පුදන ලෙස අම්මා කිහිපවරක්ම කියා සිටියත් ඒ හැම විටම ඔහු මා මගහැරියෙය. එදා සිට පාසලෙන් අස්වනතුරු කිසිදිනෙක මට සපත්තු ප්‍රශ්නයක් ආවේ නැත. අවුරුදු පතා නැතත් මගේ සපත්තු ගෙවී කැඩී තිබෙන හැම විටම අම්මාට ලියුම් කවරයක බහා ආ ඔහුගෙ “දයාභරිත මනුස්සකම” ලැබී තිබුනේය.
මගේ ජීවිතයේ මා තවමත් ඔහුට නයගැතිය. ඒ කෙසේවෙතත් ඒ නය ගෙවීමට තබා ඒ උදාර මනුශ්‍යා බැලීමටවත් යාමට මට මගේ  ජීවිතය  තවමත් ඉඩ දුන්නේ නැත. ඒ කරුමක්කාර හැගීම ජීවිතයේ අවසාන මොහොත දක්වා මා සමගම සැරි සරනු ඇත.
Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to සපත්තු…

  1. අනුන්ගෙ ඒවා කොච්චරනං ඇදලා ඇද්ද අපි

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s