ඩග්ලස්

stock-photo-happy-boy-looking-up-on-birch-tree-47726098වෙහෙසකර ගුවන් ගමනකින්පසු ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර කුඩා හෝටල් කාමරයක, පැය ගනනක සුව නින්දකින් පසු අද හවස හතරට විතර  නැගිට්ටේ බඩගින්නේ පෙලෙමිනි. බොහෝ වෙලාවට මා නින්දෙන් නැගිටෙනුයේ අධික ලෙස බඩගිනි වීමෙනි. ඒ හැම මොහොතකම වාගෙ මට හීනෙන් එක එක ජාතියේ කෑමවර්ග පෙනෙයි. වැඩි බඩගින්න වැඩි වැඩියෙන් කෑමජාති පෙන්වා මා නැගිට්ටවන්නේය. එහෙම වෙලාවට කෑමට ගෙදර බිස්කට් තොගයක්ම හැමතිස්සෙම ගබඩා කර ඇත්තේය. එහෙත් අද අමුතු දවසකි. සීතලද වැඩි නිසා බඩගින්න තවත් උග්‍රවෙයි. කරන්නට දෙයක්නැතිම තැන කලිසමක් ඇදගෙන පාරට බැස්සෙමි. ලගපාත කඩයක් තිබේ. බඩගින්න නිවාගත්පසු කඩය අයිනේ කුඩා ලමා උද්‍යානයයේ බන්කුවක වාඩි වී සෙල්ලම් කරන පොඩීවුන් දෙස බලා සිටින විට මට මගේ ලමා කාලය සිහිවීම නැවැත්විය නොහැකිවිය.

තාත්තාගේ රස්සාව හිටි හැටියේ නැතිවන කාලෙට අපව කබලෙන් ලිපට වැටෙන්නේය. එහෙත් අම්මා මේ සියල්ල දරාගෙන කෙසේ හෝ අප හයදෙනාගේ බඩවල් පිරවූවාය. හයදෙනා කීවේ මා දන්නා කාලයේ සිටම ලොකු අය්යා වෙන තැන්වල නතර වී සිටි නිසාය. බොහෝ වෙලාවල්වලට පොඩි අක්කා සහ මම ජයසින්හෙට ගොස් ගෙදර එන වෙලාවට ගෙදර අම්මා නැත. අපේ ආච්චී හා ගෙදර අප පොඩිකාලේ ඉදන් උන් ආච්චී කෙනෙකු පමණක් හිටියේය. ජයසින්හෙ සිට එනවිට ගස්ගෙඩි හා ඇදිහැස බිස්කට් කා බඩවල් පිරුණද ‘බත් බඩගින්න’ නිවෙන්නේ නැත. අක්කා කෙලින්ම කුස්සියට යන්නේය. ඇගේ මූණ කවදත් ඇඹුල්ය. ‘අම්මාකෝ’ ඊලග පැනයයි.  අම්මා කොහේ හෝ ගිහින් ඇත. ආච්චීට කියන්නට කරන්නට දෙයක් නැත. අක්කා ඇදුම් මාරුකර පොතක් අල්ලාගෙන සාලේ මුල්ලක අර කී ඇඹුල් මුහුනෙනි. මම තවමත් කොට කලිසමෙනි. එකල දැන් මා ‘පුරුදු’ කියනා දෙවල් ගැන ඒ තරන් තැකුවේ නැත. බොහෝ වෙලාවට මේ වගේ අවස්ථාවල මම ඉස්කෝලේ කලිසම පිටින් ගෙයි ඉස්සරහම ඇති අඹ ගහේ අත්තක් අත්තක් ගානේ මී පැණි වන් අඹ කඩමිනි. ආච්චී අක්කාටත් ගෙඩියක් දෙකක් ඉල්ලා මා පස්සෙනි. මා කවදාවත් ගෙඩිකඩාගෙන කපාගෙන ‘ලස්සනට’ කන්නේ නැත. මගෙත් ගහේ උසම අතුවල ඉන්නා වදුරු මාල්ලාගේත් වෙනසක් නැත. ගහෙන් බහින්නේ කම්මැලි වූ වෙලාවටය. මේ අඹ ගස මගේ බත්ගස විය. කවදාවත්ම ගෙඩි නොහැදුනේ නැති මේ අඹ ගස අපදෙල්කද ගෙදර හැරදා ජිවිතයේ පලමු වතාවට ‘අපේ කියා තැනකට’ ගිය පසු අඹ හැදීම නැතිවුනේය. එය අදටත් පුදුමයකි. මේ අඹ ගස පසුකලෙක ලී මඩුව සහිත ඉඩම් කොටස විකිණු පසු ගලවා දමන තෙක් හරිහමන් ගෙඩියක් ආවේ නැත.මේ අඹගස හරියට අපේ අම්මා, ආච්චී වැනිය. බැරිවී නැතිවී මියෙන තෙක්ම අප වෙනුවෙන් පමනක් වෙහෙසුනාය. ජීවය දුන්නාය. දෙල්කද ගෙදරට අප ආවේ 1980 විතරය. දෙල්කදින් අපි ගියේ 1989 විතරය, එතෙක් මේ පතාක අඹ ගස අපට හෙවන දුන්නේය. බඩවල් පිරෙව්වේය.
සමහර දවස්වල ගෙදරා විගස අක්කාද මාද බඩගින්නේ අඩන්නෙමු. එහෙමත් දාක ආච්චී කොහෙන්හෝ සත විසිපහක් රුපියලක් දී මා වනාත පාර මායිමේ ‘ඩග්ලස් අය්යාගේ’ කඩයට යවයි. ලී මෝලේ එක සහෝදරියක් හා විවා වී සිටි ඩග්ලස් අය්යා කුඩාතේ කඩයක් කලේය. ආච්චී මා යවන්නේ ලොකු ඇලුමිනීයම් කෝප්පයක් සමගය. එකල ලීටරයක් විතර ලොකු ඒ කෝප්පය පිරෙන්නට කහට ගන්නට සත පනහක් හෝ රුපියලක් ගන්නේය. ඩග්ලස් අය්යාට තේ මනිය සදහා ලී කුඩු ලිප් හදා දෙන්නේ මා උනත් ඔහු හැමදාම කහට දෙන්නේ මොකක් හෝ නෝක්කාඩුවක් කියමිනි. ඩග්ලස් අය්යා ලග ලොකු නය පොතක් තිබුණෙය.මෙහි අපේ අම්මාගේ නමද තිබුනේ මැද හරියෙනි. ඒ නය ගත් අයගේ අඩු වැඩි පිලිවෙලටය. අම්මාගේ නය සීමාව පැන්න පසු ඩගලස් අය්යාගේ සීමාවද පනී. ඒ කෝපය පිටවන්නේ මගෙනි. එහෙත් මගේ ඇහේ එක කදුලක් හෙල්ලෙන්නේ නැත. ඒ බැනුම් පුරුද්දට ගොසිනි. තේ ගොට්ට මිරිකා කහට තලියක් කෝප්පෙට දාන අය්යා ඉතුරු ටික පිරෙන්නට උනුවතුර වක්කරන්නේය. මේ විනාඩිය දෙකම ඔහුගේ බැණුම් තාත්තාට නොව අම්මාටය. අම්මා තාත්තා හදාගත්තේ නැතය කියා ඩග්ලස් අය්යා ඔහේ කියවයි. මේ ඔක්කොම අස්සේ මගේ ඇස ඤානකතා බෝතලයට බව මා නොදැක්කාට ඩග්ලස් අය්යා දනී. ‘අරන් පල එකක් ‘ ඒ අන්තිම වාක්‍ය අනිවාරයය. අහම්බයක් නොවේ. ඒ කාලේ මිනිස්සුන්ගේ හැටි එහෙමය.
තේ ජෝගුව පිච්චී පිච්චී වත්ත මැදින් අරන් එනවිට ඤානකතාව අවසානය. ඔබට හිතෙනවානම් මා බෙදාහදා ගෙන නොකෑ නරුම කොල්ලෙකු ලෙස එදා මගේ පොත්තට ඇලුණු බඩගෙඩිය මතක් කරගන්නා ලෙස ඉල්ලමි. කෙසේ හෝ අල්ලට සීනී හැන්දක් දාගෙන කහට තේ බී අම්මා එන තෙක් අපි මග බලා ඉදින්නෙමු. අන්තිමේ අම්මා එන්නේ දාදිය පෙරාගෙන එලවලු මල්ලක්ද ඇතිවය. බොහෝ වෙලාවට හන්දියේ ‘සායිබබාගෙන් ‘නිකන් ඉල්ලාගත් මාලු ඔලුවක්ද ඇතිවය. (අපේ පවුලට අදාල විශේෂ කෑම වට්ටෝරුවක් තිබේ,ඒ ගැන ඊලගට ලියමි.) සායිබබා මෙන් කොන්ඩය වැවූ හන්දියේ මාළු මුදලාලි ඒ දවස්වල මාළු ඔලු වික්කේ නැත.අද සුපිරි වෙලදසැල් වලද මාළු ඔලු විකුනන්නේය. අන්තිමේ දුම් ගගහා අම්මා අර ගෙනා එළ්වලු කලමනා ලෑස්තිකරනා විට කළුවර වැටෙන්නේය. එතකං අම්මාගේ බඩ හිස් බව මට දැන්හිතුණාට එකල එහෙම කල්පනා වුනේ නැත.එහෙම වුනා නම් ඤානකතාව මා තනියෙන් ගිලින්නේ නැත. එහෙත් ඒහෙම වූවත් ‘ ඔයා කන්ඩ ලමයො මගේ බඩ පිරිළා’ කියා අම්මා කියනු මිස වෙන දෙයක් ඇහෙන්නේ නැති බව නම් ඉදුරාම කියත හැක..

මේ කතාව දිග් ගැස්සෙනනිසා බඩගින්න ගැන තව ලියන්නට තබා ගනිමි.

Posted in Uncategorized | 3 Comments

බටර් තමයි බටර්….

imagesවිජේරාම හන්දියට කලින්, නුගේගොඩ පැත්තට වන්නට පාර අයිනේම අම්මාගේ තවත් නෑදෑයෙකුගේ ගෙවල් තිබුනේය. අම්මාට මේ අයගේ ඇති නෑදෑකම කුමක්දැයි මම දන්නේ නැත. එහෙත් අප කියන්නන් වාලේ මහප්පා හා නැන්දා කීවෙමු. මේ මහප්පා ආණ්ඩුවේ කොහේ හෝ තැනක රාජකාරි කොට විශ්‍රාම ගොස් සිටි අතර නැන්දා රස්සාවක් කල බවක් මා අසා නැත. මහප්පා එකතරා විදියක ‘අතිපණ්ඩිතයෙකු’ බව මට දැනී තිබුණෙන් කිසිම විටක ඒ ගෙවල් පැත්තේ යාමට මම අකමැති වුනෙමි. ඔහු හැමවිටම ඉංග්‍රීසි පත්තරයක් අතේ තබාගෙන හාන්සිපුටුවක කල්පනා බරිතව උන්නේය. අපි කවුරුන් ඒ ගෙදරට ගොඩවුනද ඔහු පුටුවෙන් නැගිට්ටේ නැත. එහෙත් ඔහු තම ඥාතියා වන අපේ අම්මාට ‘ආ …ඔන්න කුස්සිය පැත්තේ ඇති ..’ කියා නැන්දා ඉන්නා තැන කියන්නේය. මේ කියමනටම මම එදා අකමැති වුනෙමි. මම එකල පොඩි එකෙක් වුව ඔහු අඩුම ගනනේ අම්මාට ඉදගන්නටවත් නොකීම ගැන මගේ හිතේ කහටක් තිබුණේය. අනෙක ඔහුගේ පොත් රාක්කය පැත්තට මා යනවිටම ‘හා හා ඔවා වැදගත් පොතපත’ කියා මට ‘සද්දයක් ‘ දැමීමද මට ඇල්ලුවේම නැත. අම්මා මේ නැන්දාට කතා කලේ කෙසේදැයි කියා මතක නැත. මේ නැන්දා කිසිදා සාරියක් නොඇද වෙන ඇදුමක් අදිනුද මා දැක නැත. ඇය කුස්සියටත් ඇන්දේ සාරියය. ඇයට තිබුනේ අපේ ආච්චීගේ පරම්පරාවේ පැහැපත් හමක් මෙන්ම ඒ පරම්පරාවේ ආඩම්බර නපුරු පෙනුමකි. මේ නැන්දා මහප්පාට වඩා ටිකක් හොද වුවත් අම්මා මා කැටුව එහි යන හැමදාකම අලි ඉදුල් භාජන කන්දක් හා රෙදි කන්දක් හෝදන්නට ලැහැස්ති කොට තිබුනේය. එය ඒ දෙදෙනා විසින් කතා කරගත් සම්මුතියක් වන්නට ඇත. අම්මා මටද කුස්සියේ වාඩිවෙන්නට කියා අර හේදිල්ල පටන් ගනී. ඒ අතරේ නැන්දා තවත් පුටුවක ඉදගෙන තාත්තා ඇතුලුව බොහෝ දෙනෙකුගේ ‘රෙදි හෝදා’ ඉවර කරයි. අම්මා සාරි පොට ඉනේ ගහගෙන එකෙන් එක අර කී ඉදුල් කන්ද පාත් කරනා විට අම්මාගේ මූණ තවත් කලුවෙයි. තම ඥාතියාගේ ඉදුල් හේදීමට සිදුවන්නේ තාත්තාගේ නොමනා කම නිසා බව අම්මාට කියන්නට කටක් තිබුනේ නැත. ඇය සියල්ල එසේම විද දරාගත්තාය. ඉදුල් කන්දෙන් පසුව විසාලෙට හැදූ නාන කාමරේ බේසං හා බාල්දි වල දැමූ කිළුටු හෝදා ඉවරවෙනතෙක් මමද ඒ අසල ඉමි. අම්මා මේ කිළුටු කන්ද හෝදා ඉවර වී දිගු සුසුමක් පිටකලාය.

ඒ සුසුම මගේ හදවතේ තැනක හිරවී ඇත්තේය. මෙවන් සුසුම් සහ නානාප්‍රකාර දුක්, බැනවැදිලි, ගුටි, හා අඩන්තේට්ටම් හිරවී ඇති ඒ නහරය දිගේ තාත්තා නැමැති සෙනෙහස් නහරයට ලේ දුවන්නේ නැත. එය මට මහා කරදරකාරී සිතිවිල්ලකි. එකල මා තරුණම වියේදී මෙවා මා තලත්තෑනි වූ පසු මග හැරේ යන සිතිවිල්ලෙන් උන්නෙමි. එහෙත් අදටත් ඒ නහරය හිරවී ඇත්තේය. කාලය සියල්ල විසදාදෙනු ඇත. සමහරවිට කාලයම හරස්වනු ඇත.

කෙසේ හෝ අම්මා වැඩ ඉවර වූ පසු තේ හදන්නීය. තේ ලැබෙන්නේ කුස්සියේ කුඩා මේසයේය. සාලයේ මේසය උඩ ලොකු ඇම්බුං ඇවරියක්, ක්‍රීම් ක්‍රැකර් පෙට්ටියක්   තබා ඇත්තේය. ඒ අතරේ හතරැස් වීදුරු බදුනක දැමූ බටර් කුට්ටියක් තිබේ. ඒ බදුනේ බටර් කුට්ටිය බාගයක් වැහෙන්නට වතුර දමා තිබේ. මේ කුමක් සදහාදැයි මම නොදනිමි සමහරවිට කූඹින්ගෙන් බේරාගන්නට වන්නට ඇත. අම්මා තේ හැදූ පසු මහප්පාගේ තේ සාලේ මේසෙටද අපේ තේ කුස්සියටද ලැබේ. සාලේ මේසෙන් අම්මාටත් මටත් ක්‍රීම් ක්‍රැකර් පිරීසියක් ලැබෙන්නේය. එහෙත් අම්මා කුස්සියේ සිට ඒවා කන්නේ නැත. ඒ සියල්ල මට දී..’ ඉන්න මං මහප්පා එක්ක ටිකක් කතා කොට එන්නං’ කියමින් නැගිට යන්නීය. අර පණ්ඩිතයා ඇම්බුං ගෙඩියක් කඩාගෙන ක්‍රීම් ක්‍රැකර් එකක් කකා අම්මාට බන දේසනා කරන්නේය. අම්මා කතාව ඉවරවෙනතුරු හූමිටි තියන්නීය. ඉන්පස්සේ ඒ ගෙදර ඉතුරු වී ඇති එළවළු හාල් තුනපහ සියල්ලම අපේ අම්මාට වෙන් කෙරෙයි. මේ සමහර දේ පහුවෙනිදා අපේ කක්කුස්සිය එහා පැත්තේ කුණුගොඩේ තිබුණද අම්මා ඒවා බාරගන්නේ ස්තූතිපූර්වකය. අන්තිමේ නැන්දා අම්මා අත කීයක් හෝ මිටමොලවන්නීය. අම්මා ඒ කීයක්දැයි බලන්නේ නැත. අප දෙදෙනා අර ඇම්බුං මේසේ පහුකරගෙන ඉන් පිටව යන්නෙමු.

එහෙත් මගේ හිත තාමත් අර බටර් කුට්ටියේ නතරව ඇත්තේය. අම්මාට ඒ බව කියන්නත් බැරිය. ඇයට කීවොත් ඇය අනිවාරයෙන්ම කොල්ලා ආසා බව නැන්දාට කියනු ඇත. එවිට අර පණ්ඩිතයාද දැනගනු ඇත. ඒ නිසා මගේ ආසාව අම්මාට නොකිව්වෙමි. එහෙත් මට බටර් ගා ක්‍රීම්ක්‍රැකර් එකක් කෑමේ ආසාවක් තිබේ. එදා ඒ ගෙදර සාලේ මේසය උඩ දමා ආ මගේ හිතද තවම එතැනය. අනෙක් සති අන්තය තෙක් ඉවසා සිටියෙමි. ඒ අතරේ නැන්දා තම අබාධිත පුතාද ඇවිද්දවීම පිණිස අපේ ගේ ඉස්සරහින් ගියාය. එවිට අර මතකය අලුත්වෙයි. කෙසේ හෝ අම්මා මා කැටුව ඊලග සතිඅන්තයේද එහි ගියාය. කැටුව ගියා නොව අම්මාට කලින් මා එහි ගියෙමි. වෙනදාට එහි යන්නට කන්කෙදිරි ගානා මං අද කැමැත්තෙන්ම ඒම ගැන අම්මාට නිච්චියක් නැත. මෙවරද එකම චරියාවයමය. එහෙත් අර බටර් දැමූ බදුනේ,  වතුරේ දියවෙමින් ඇත්තේ ලුණු කැටය. ලුණු කැට දමනු ලැබූ කොල්ලාගේ බලාපොරොත්තුව බටර් නරක්වීමය. එකල ඒ කොල්ලා ලුණු දමා කෑම කල්තබාගන්නා හැටි නොදැන සිටියේය. අනෙක ඒ කොල්ලා පිටින් පෙනෙන අහිංසකයා නොවන වග එදත් කවුරුවත් දැන සිටියේ නැත. එහෙත් ඒ කොල්ලාගේ වාසනාව එදා යලි මතුවන ලද්දේය. මහප්පා කට ගෑ සැණින් බටර් ගෑ විස්කෝතුව විසිකලේය. නැන්දාට කතා කොට බටර් කුට්ටිය නරක් වී ඇති බව බලන ලෙස අනකලේය. නැන්දාට අනුව බටර් කුට්ටිය නරක් වී ඇත. එහි ඇඹුල් රසක් තිබේ. මට සතුටුය. ඊටත් වඩා ඒ බටර් කුට්ටිය එහෙම්පිටින්ම අම්මාගේ කළමනා මල්ලේය. ඊලගට අපේ ගෙට උඩින් ඇති ‘ඩයස් බඩාගේ’ කඩෙන් ගෙන ආ රෝස්පාන් වල බටර් ගා සීනී තවරා මගේ කෑදර බඩ ඇතුලේය.

Posted in Uncategorized | 4 Comments

බීරළු

indian-boys-face-behind-cricket-stumps-bgn14eඅපේ ගෙට ඉස්සරහින්ම හයිලෙවල් පාරද..දකුණු පැත්තේ අම්මාට අයිතිව තිබූ කොටසද වම්පැත්තේ මහ විසාල ලී මඩුවක්ද (මඩුවක් නොව ලී විකිණූ, ඉරූ, ලී වලින් සියලුම දෑ හැදූ) පිහිටා තිබුණේය. ගෙට පිටිපස්සේ සිට ලී මඩුව හා වනාත පාර මායිමම ලී මඩුවේ අයිතිකරුවන් වූ පවුලේ අයට අයිති වූ දේපල විය. අප නෑමට බීමට කක්කුස්සි යාමට වතුර ගත්තේ මේ ඉඩමේ තිබූ ළිදකිනි. එය අපේ ගෙට මායිමේ වැටට එහායින් තිබුනේය. මේ ලී මඩුව මගේ ජීවිතයට ලොකු රුකුලක් දුන්නේය. ලී මඩුව පමනක් නොව එහි අයිතිකරුවන් වූ සහෝදරයන් කිහිපදෙනාද මා පොඩි එකාගේ සිට ලොකු එකෙක් කලේය. ඔබට විස්වාස නැතත් හතරේ පන්තිය වන විට මා බීරළු මැසිමේ බීරලු ‘ලියෙව්වෙමි’. මට බීරළු මැෂිම පනගන්වා හතරැස් ලී පටියක් විකට් පොල්ලක් මෙන් රවුම් කරනා හැටි ඉගෙනගන්නට මුලින්ම ඒ පවුලේ බීරළු මැෂිම බාරව උන් අය්යාට ප්ලේන්ටි වතුර අදින්නට සිදුවිය. ඉන් පස්සේ මැෂිම පටන්ගන්නට පෙර හදුන්කූරු පත්තුකරන්නට සිදුවිය. තවත් කාලයක් මැෂිමේ වැඩ ඉවර වූ පසු පිහිදා තෙල් ගානා තැන්වල් තෙල් අල්ලා ලොකු ඝනකම් රෙද්දකින් වසා දමන වැඩ ඉගෙනගන්නට සිදුවිය. එකල මා මේවා කලේ සන්තොසයකින් කීවොත් අලි බොරුවකි. මම බීරලු මැසිම බාරව හිටි ඒ පවුලේ බාල සහෝදරයාට හිතින් සාප කලෙමි. අනෙක ඔහු මට ආදරෙන් කතා කලේද නැත. පල..ගෙනෙන්..කරලා කතා කරපිය..දුවපිය..අරන් වරෙන් යකෝ කියා දෝස්මුර දැම්මේය. එහෙත් අද මට මෙවා මට ආදරෙන් කතා කරනා අයගේ බොරුවලට වඩා දහස්වාරයක් හොදයැයි හිතෙයි. ඔහු එකල අවුරුදු දහ අටක විස්සක තරුණයෙක් විය. ඒ මුලු පවුලම දක්ෂයෝය. මා කලින් කී ‘පතරංග නයි සරුංගල් ‘ කාරයා මේ කී බීර්ළු අය්යාය. ඔහුට වැඩිහිටි අය්යලා සියල්ලම වඩුවැඩේ අතිදක්ෂයෝ වූහ. ඒ වගෙම ‘බීමේ’ ප්‍රවීනයෝ වූහ. ඒ සියල්ලෝම බීමත්කමින්ම ජීවිත නැතිකරගත්තේ අකාලයේය. පසුකාලයක මේ පවුලේ හිත හොදම අය්යා කෙනෙකු බීමත්කමින්ම මියගිය වෙලේ මලගෙදරදී මම මේ බීරළු අය්යා හා කතාකලෙමි. ඔහු බමන මතින් වුව මගේ කතා අසා සිට ‘ඔව් ඔව් බන් මට මතකයි..ඒ දැන් උඹ මහත්තයෙක් වෙලානේ..’ කියා මගේ අත අල්ලාගෙන හිටියේ ඇත්තම සතුටට බව මට දැණුනේය. අද ඉතිරිව ඇති බීරළු අය්යා පසුව දක්ෂ ‘කේක් බාස් ‘ කෙනෙකු විය. එහෙත් අවාසනාවකට අද ඔහුද තම අය්යලාගේ අඩිපාරේ යන්නෙකි. බීරළු ඉතා ලස්සනට ලියවූ ඔහුගේ කේක්වල අයිසින් රටා කොච්චර ලස්සනට ලියවෙන්නට ඇත්දැයි මට හිතාගන්නටවත් බැරිය. කෙසේ හෝ අන්තිමේ මට එක දවසක ‘ උඹට ඕනෙද එකක් ලියවන්ඩ..’ කියා බීරළු අය්යාගේ කටින් වචන පනින විටම මා මැෂිම ලග හිටගෙනය. ඔහු මුලින්ම කරන්නට ඕනෑ වැඩ ටික කියා දුන්නේය. දෙකයි දෙකේ ලීයක් ගෙනෙන ලෙස අනකලේය. ඒ ලී දණ්ඩ මැෂිමේ දෙකොනේ සවිකල යුතු අන්දම එකින් එක කියා දුන්නේය. මැෂිම ‘ස්ටාර්ට්’ කරන්නට අන දුන් සැටියෙන් මම අගලක් විතර රවුම් කොල පැහැති බොත්තම එබුවා පමණි, මගේ හිස් මුදුනෙන් කන හරහා අකුනු සැරයක් වන් වේදනාවක් දැනුනේය. ‘බල්ලෝ ඕන වැඩක් කරගන්න කලින් මැසිම යකඩ උනත් වැදලා අවසර ගනින්..’ ඒ ටොකුපාරට පසුව බීරළු අය්යා ගෙරෙව්වේය. මම ඒ කී විදියට ඔලුව නමා දොහොත් මුදුන් තබා වැද..’තොට මම කවදාහරි මල් නියනකින් අනිනවාම’ යැයි හිතෙන් කීවෙමි. අය්යාට සතුටුය. හා එහෙනන් පටන් ගමු කියූ සැනින් මම මුලින්ම කලයුතු රාජකාරිය වන මේ හතරැස් ලීය රවුම් කිරීම සදහා අගල් බාගයකට වඩා අඩු හතරැස් නියන අතට ගත්තෙමි. මා බීරළු අය්යා මේ වැඩේ කරනා හැටි දහස් වාරයක් දැක තිබේ . ඔහු නියන මැෂිමේ එක තැනකට බර කරමින් ලීයට ලන්කල විගස ලීය රවුම් වෙන්නේ බටර් මෙනි. (බටර් මා දැක්කේ ඒ කාල සීමාවේමය. එය ඊලගට ලියමි.) මාද වැඩකාරයා සේ නියන ඇල්ලුවෙමි. නියන මගේ අතින් පැන්නේය. පැන රවුමක් කැරකවී මගේ කන ලගින් ඇදී ගොස් ලී මඩුවේ බිත්තියේ වැදුනේය. බීරළු අය්යා මැසිම හනික නැවැත්තුවේය. ඔහුගේ දෑසේ බියපත් බවකි. ‘උඹට කරදරයක් නෑ නේද..මං බයවුනා බං..නියන වැදුනානන් උඹලගේ අම්මා මාව ඉරල කයි..’ ලී මඩුවේ නිසා බාසාවද ලී මඩුවටම අදාලය. ඔහු මට මේ වැඩේ ඉන්පසු කරුනාවෙන් කියා දුන්නේය. නියන බර කොට ඇල්ලිය යුතුය..මුලින් මුලින් ලාවට අල්ලා පස්සේ රවුම එක ගානකට ගන්නට තදින් එක මට්ටමකට ඇල්ලිය යුතුය. අන්තිමේ ටික වෙලාවකින් පසු මගේ ලීය අගනා ලෙස රවුමට ලියැවී ආවේය. මා ඉතා හොදින් ලියවා ඇති බව මට බීරළු අය්යාගේ මූනෙන් පෙනේ. ඔහු මා කෙරෙහී පැහැදී ඇත්තේය. එදින මගේ ජයග්‍රාහී දවසකි. ඉන් පස්සේ ඔහු යලි සිය වැඩ වල නිරත විය. (ඉන්පස්සේ දීර්ඝ කාලයක් නිවාඩු පාඩු වෙලාවක මා ඔහුට බීරළු ලියවීමට පහසු වන පිණිස ලී රවුම් කොට දුන්නෙමි. ඊටත් කාලයකට පසුව මා නුගේගොඩ පිරිමි පාසලට යන කාලයේ රටා සහිත බීරළුවක් තනියෙන්ම නිම කිරීමට තරම් ඉගෙනගත්තෙමි. මා ආසාම කලේ බීරළු ඉගෙනගත් එකට නොවේ..ඉන් පසු බීරළු අය්යා මා පොඩ්ඩෙකු නොව වැඩ්ඩෙකු ලෙස පිළිගත් නිසාය.) වැඩ ඉගෙනගත් පළමු දවසේම මම ගෙදර ගොස් අම්මාට පෙන්නුවෙමි. පවුලේ අනෙක් අයට පෙන්නුවෙමි. තාත්තා ගෙදර එනවිට පෙනෙන්නට උලුවස්ස ලග හේත්තු කලෙමි. තාත්තාට එය නොපෙනෙන්නට ඇත. ඔහු කිසිත් නොකීය. එහෙත් අම්මා ”ඕවා හොදයි නිකං විනෝදෙට වගේ” කීවාය. ඇයට ඕනෑ වුනේ මා ‘වඩ්ඩෙකු නොවී වැඩ්ඩෙකු’ කරන්නටය. අන්තිමේ මා ඇය ‘බලාපොරොත්තු වූ’ වැඩ්ඩා වීමී. ඒ කතාව කියන්නට තව අවුරුදු තිහක විතර කාලයක් තිබේ. ….

Posted in Uncategorized | 4 Comments

පඩි දවස

images

නුගේගොඩට පදිංචියට විත් වැඩිකලක් යන්නට පෙර තාත්තාගේ රස්සාව ටික දවසකට ආයෙත් නැතිවිය. ටික දවසකට කීවේ, ඒ අපේ තාත්තාගේ හැටිත් තාත්තා රස්සාව කෙරූ තැන ලොක්කන්ගේ හැටිත්ය. තාත්තා රක්ෂණ සමාගමක ලිපිකරුවෙක් විය. මා දන්නා තරමට ඒ කාලයේ ලිපිකරුවෙක් යනු ගැම්මක් ඇති රස්සාවකි. තාත්තා ඒ කාලයේ ජීවිත රක්ෂණ කොටස බාරව හිටි බව මට යන්තමට මතකය. තාත්තා සැම විටම ලොක්කන් සමග වාදයට ගොස් ටික දවසකට රස්සාව නැතිකරගනී. එහෙත් තාත්තා නැතිවත් බැරි කෙනෙක් නිසා ආයෙත් එන්නට කියා වැඩ ගනී. තාත්තා කවමදාකවත් යාප්පු වී හෝ කිසිවෙකුටවත් වැද වැටී රස්සාව ගත්තේ නැති නිසා ආපහු වැඩට ගියද ලොක්කන්ව සතපහකට ගනන් ගන්නේ නැත. එහෙත් ලොක්කෝ තාත්තා කොපමණ කෑකෝ ගැසුවද එවා ඒතරම් ගනන් නොගනිති.
මේවා මා දැනගත්තේ තාත්තා සමග හැම මාසයකම පඩි දවසට දවසට ‘වැඩට’ යාමෙනි. මාසේ හැම පඩි දවසකම අම්මා මා උදෙන්ම කූද්දයි. ඒදාට මට ඉස්කෝලේ නැත. එදා මගේ ජීවිතයේ හොද නරක මිශ්‍ර දවසකි. ඉතින් තාත්තා මා කැටුව දෙල්කදින් බස් එකට නගින්නේය. අප දෙන්නා අතර කතාවක්ද නැත. එකල මා බස්වල ගමන් ගිහින් නැති ගොඩයෙකි. ජනෙලයක් ලග අසුනක් හමුවන තෙක් මගේ හිත ඉවසිල්ලක් නැත. එකල එකල උපාලි කන්නගර පදිංචි වී සිටි දෙල්කද දෙමහල් නිවස ඉදිරිපිටින් පිටින් ගන්නා පටන් ගන්නා බස් රථය හෙමින් හෙමින් ඉදිරියට ඇදෙයි. දෙල්කද ඇල පහුකරන් ගම්සබා හන්දියට යනවිට මා නින්දේය. ඉන්පසු මා ඉන්නේ සිහින ලෝකයකය.
ඊට කලින්දා හවස දෙල්කද ඇලේ බැස ගෙදර ඇතිකෙරූ ‘ෆයිටර්ස්’ මාළුවන්ට කන්න දෙන්නට පනු පොකුරු පොල්කටුවල දාගෙන ආ මම බස් එකක නැගී කොළඹ යන එක එදවසත් මට අරුම පුදුමය. දෙල්කද ඇලේ සාරිගප්පින්, කෙකටිය හා පණු පොකුරු අද දකින්නට නැත. මේ සටහන ලියන දවසේද ඒ ඇල උඩින් මගේ ලොකු පුතා අමතර පන්තියකට ඇරලවන්නට ගියෙමි. ඔහු ඒ වෙලෙ කන පිරෙන්නට බටහිර සිංදුවක් දමාගෙන කොහේදෝ ලෝකයක උන්නේය. වාහනය පාලම උඩ නවත්තා කොල්ලාව ඇදගෙන ඇලට පැන පණු පොකුරු පෙන්නා ‘උබේ තාත්තා තුනේ පන්තියේදී විතර මේ ඇලේ දනක් මඩේ එරී කෙකටියා කැඩූ වග, පණු පොකුරු ඇල්ලූ බව කියන්නට හිතුනත් ‘ඉකේ ඔයා එවත් කලාදැයි’ දැන් කුණු ඇලක් වී ඇති එදෙස බලා අහනු ඇති බව සිතුනෙන් එදා මෙන්ම මගේ සිහින ලෝකයේ තනිවුනෙමි.
අවුරුදු අටක විතර කොල්ලෙකු කොට කලිසමක් හා පාට කොටු කමිසයක් ඇද හමගිය සපත්තු දෙකක්ද දාගෙන, හීන්දෑරි උස සුදු කලිසම් කමිස හැදි මිනිසෙකු සමග කොළඹ අහසේ ඇස් යොමාගෙන උපෙන්තේකට කොළඹ ඇවිත් නැති එකෙකු සේ ගමන් කරනා අයුරු මේ කියවන ඔබට මතක් කරගන්නට පුලුවන්ද..? මේ කොටසට මා තවම කැමැතිය. ඒ අපේ තාත්තා මා අතින් අල්ලාගෙන පරෙස්සම කල එකම දවස නිසාය. එහෙත් ඒ පරෙස්සම නැති වන්නට විනාඩියක් යන්නේ නැත. දැන් නවලෝක ඉස්පිරිතාලේ පිවිසුමත් තාත්තාගේ කාර්යාලයත් මැද ඉඩකොටසේ කඩපේලිය මැදින් පටු පාරක් ඇත්තේය. තාත්තා කාර්යාලයට යන්නේ මේ කෙටි පාරෙනි. ඒ පාරේ හරිමැද අදුරු ගුහාවක් වැනි තැනක මා නවත්වා ‘කොහෙවත් නොගිහින් ඔහොම ඉන්නැයි’ කියා ඒ අදුරු ගුහාවේ අතුරුදන් වෙයි. ඒ කාලය ඉතා කෙටිය. තාත්තා ඒ අදුරු ගුහාවෙන් මතුවන තුරු මම එදෙස ගුප්ත හැගීමෙන් බලා සිටිමි. විනාඩියක් යන්නේ නැත තාත්තා මතුවෙයි. ‘හා යං’ කියයි. ඒ ගමන් මගේ අතේ උම්බලකඩ කෑල්ලක් තබන්නේය. තාත්තාට මේ උම්බලකඩ කෑල්ල ගෙනෙන්නට මේ තරන් හදිසියක් ඇයි කියා මා එදා සිතුවෙමි. අනෙක තාත්තා පවු කියාද මට හිතුනේ මට උම්බලකඩ කෑල්ල දී යන මග දිගට කාරා කෙල ගහන දෙස බලා සිටීමෙනි. අන්තිමේ අපි දෙන්නා කාර්යාලයට යන්නෙමු.
තාත්තා ඔහුගේ මේසයේ මෙපිට පුටුවකින් මා ඉන්දවා සුදුකොල දුසිමක් විතර දෙන්නේය. එදා දවසම මා මේ හාෆ්ෂීට්, කාබන් කොල, අනේකවිධ පෝරම කොල සමග ගෙවන්නෙමි. වටපිටේ තාත්තාගේ යාලුවෝ මගේ ඔලුව අතගා විස්තර අහති..මට සීනී බනිස් සමග උණු තේ කිහිපවරක්ම ලැබේ. තාත්තාගේ ‘යාලු ඇන්ටිලා’ මට දවල් කෑම කන්නට එක්කාගෙන යයි. මාලුපාන් සමග ආයෙත් හවස තේ වෙලාවකි. මේ ඔක්කොම අතරේ තාත්තා වැඩ ගොඩකය. අති විසාල ලිපිගොණු වලි ඔහුගේ මේසය පිරී තිබේ. ඔහු ඒවා එකින් එක පෙරලා මොනවාදෝ ලියයි. ඒ අතරේ කාකි කොට කලිසම් ඇදි කෙනෙක් විත් ඒවා රැගෙන යයි. දවල්වනවිට තාත්තා අයෙත් අතුරුදහන් වෙයි. ‘තාත්තා ලොකු වැඩකට ගියා ‘ කියා කෙනෙක් කීවද අර ගුහාවට යන්නට ඇතැයි මට හිතෙයි. අන්තිමේ හවස් වන විට කලබල ගොඩකි තාත්තා ද කලබලයෙනි. සියල්ලෝ කොහේදෝ හනි හනික යති. ආපහු එන බොහෝ දෙනෙක් සතුටෙන් නොවේ කියා මට හිතේ ඒ අතරේ අහම්බයෙන් මෙන් කෙනෙකු දෙන්නෙකු සතුටෙනි. මේ එක් සතුටු මුහුනක් හැමදාම මට මාරු කාසි කිහිපයක් දුන්නා මතකය. ඒ තාත්තාගේ ලොක්කා බව මම පසුව දැනගතිමි. මේ ලොක්කා පසුව ලොකු ලොක්කෙකු විය. තාත්තා ඔහු ගැන සතුටෙන් කතා කරනු මා දැක තිබේ. ඒ එම ලොක්කා අපේ තාත්තාගෙන් වැඩ ඉගෙනගත් කෙනෙකු නිසාවෙනි.
කෙසේ හෝ අප දෙදෙනා ආයෙත් අර පටුමගට වැටෙන්නෙමු. මගේ අතේ ලොකු කඩදාසි පාර්සලයකි. ඒවා තාත්තාගේ කාර්යාලයේ පිහිටෙනි. පටුමගට වන් තාත්තා ඉස්සෙල්ලාම කරන්නේ මට ලොකුම ලොකු රටකජු ගොට්ටක් අරන් දීමයි. ඉන්පසු ඇසිල්ලේ ඔහු මා අර අදුරු ගුහාව ඉදිරිපස නවතා අතුරුදන් වෙයි. මෙවර ඔහු එන්නේ මා රටකජු කා මත්වී ගුහාව ඉදිරිපිට බංකුවේ වාඩි වී ඉන්නා විටය. මේ බංකුවේ මා සමග හැමදා සිටි මැදි වයසේ මනුස්සයෙක් ගුහාවට යන හමදෙනාටම වාගේ ‘ආයුබෝං’ කීවේය. සමහර අය ‘—-අක්කා’ (මෙ ගැහැනියගේ නම මට දැන් මතක නැත.)ඉන්නවා නේදැයි’ ඇසුවිට ඔහු කටපුරා හිනාවී. ‘ඇතුලේ’ කීවේය. ඒ නිසා මට බයක් නැති වුනත් තාත්තා එනවිට කලුවර වැටී ඇති නිසා බයකි. අන්තිමේ අපි දෙන්නා ආයෙත් බස් එකේය…මෙවර තාත්තා ලියුං කවරයක වූ මුදල් නෝට්ටු සිය කමිසයේ අත් නැවුමේ රදවා යලිත් වරක් කමිස අත නවයි. එහෙම කරන වෙන අය මා දැක නැත. කෙසේ හෝ අපි දෙන්නා එකට බසයට නැග්ගද මම ඒ සැනින් බස් රථයේ රියදුරු අසුන ලගට යමි. එකල බැටරි පෙට්ටිය උඩ යාමට පොඩි එවුන් හට ඉඩ තිබිණි. මම බැටරි පෙට්ටිය උඩ වාඩිවී යලි මගේ සිහින ලෝකයට යමි. එවිට බීගත් මිනිසෙකුට බස් රථයේ අනෙක් ගැහැණුන් මිනිසුන් කෑගහනා දොස් කියනා හඩ මට ඇසෙන්නේ නැත. ඒ හීනයෙන් මා ගම්සබා හන්දියෙන් අවදි වෙමි. ඒ දෙල්කද හන්දියෙන් බස්සවාගන්නට වෙරිමතේ නිදන කලිසම් කමිස හැදි කෙනෙකු අවදි කරගනු පිණිසය.

Posted in Uncategorized | 11 Comments

ඔපරේෂන් බිලිං

අපේ ගෙට පිටුපස්සේ කුඩා වත්තක් වැනි බිම් කොටසක් විය. මෙහි කටු අනෝදා, වැලි අනෝදා මෙන්ම සරුසාර බිලින් ගහක්ද තිබුණේය. බිලින් ගහේ ගෙඩි හැදෙන්නේ අතුවල පමනක් නොවේ මුලු ගහෙම කදේද, මුල හරියේද කද වැහෙන්නට ලා කොල පාටට බිලින් හැදුනේ අමුතු ලස්සනකටය. ඒ ලස්සන බිලින් හැමදාම අපේ කෑම පිගානටද ආවේය. ලා බිලින් සම්බෝල‍යට දෙහි ඉස්ම හා හීන් අමුමිරිස් එකතුවූ විට අගනෙය. අපේ ලොකු අම්මා මේ කෑම ජාතිවල අතිදක්ෂයෙකු විය. එහෙත් අත්ගුනේ තිබුනේ අපේ අම්මාටය. ලොකු අම්මා බොහෝ කෑම ජාති අත් හදා බැලුවාය. ඇයගේ වෛවාරණ කෑම වර්ග වල හොද නරක කීමට අපටද කොටසක් ලැබුනේය. සමහර වෙලාවට ලොකු අම්මා බිත්තියෙන් එහා පැත්තේ සිට අලුත් කෑම ජාති අපට හොරෙන් හැදුවාය. බඩගිනිකාරයෝ හය හත්දෙනෙක් බිත්තියෙන් මෙහා පැත්තේ ඇහැ ගහගෙන බලා සිටීම ඇයට වදයක් වන්නට ඇත. අනෙක බාප්පා ලොකු මුදලක් එකලද හම්බකරනා ජාතියේ කෙනෙකු නොවීය. ඇය සකසුරුවමෙන් එකතු කරගන්නා දෙයින් අත් හදා බලන දේවල් හත් අට දෙනෙකුට දෙන්නේ කොහොමද.
අප ඒ කෙසේ වෙතත් උත්සාහය අතහැරියේ නැත. අපේ පැත්තෙන් වූ මැද දොරේ යතුරු කවුලුවෙන් ලොකු අම්මා උයන හැටි දෙවැනි අය්යා අනිවාරයෙන්ම සොයා ගනී. සොයාගෙන නතරවෙන්නේද නැත. ‘හා හා.. අද අලුත් කෑමක් වගේ..සුවදේ..බෑ..’ අය්යා මෙපිට සිට කෑ ගසයි. ලොකු අම්මාට කේන්ති යන එක පුදුමයක්ද…ඇය අපේ බඩජහරිකම ගැන පලු යන්නට බනින්නීය. අන්තිමේ අපේ පන්ගුව අම්මාට ගෙනත් දෙන්නේය. ආච්චීට ගෙට එන්නට කියා වෙනම කන්නට දෙන්නේය. ආච්චී ලොකු අම්මාගේ ගෙට ගියොත් රණ්ඩුවකි. ‘අර කොල්ලො ටික බඩගින්නේ..මට මෙතන් කන්ඩ හිත දෙනවද සිරියා..’කියා ඇයද නෝක්කාඩු කියන්නීය. අන්තිමේ ඒ කෑම ටිකත් අපේ පිගන්වලට වඩින්නේය. ආච්චී හැමදාම කිව්වේ කොල්ලන් බඩගින්නේ කියාය. අම්මාද තවමත් කොල්ලන් ගැන මිස අනෙක් අක්කලා ගැන ඒ තරම් ලොකුවට හිතන්නේ නැත. ඒ අම්මා ආච්චීගෙන් උගත් දේ වන්නට ඇත.
කෙසේ හෝ මේ බිලින් ගහෙන් මහා වැඩ තොගයක් කරගත්තේ ලොකු අම්මාය. ඇය බිලින් වේලා…බිලින් අච්චාරු..බිලින් කල්තබාගන්නා අකාරයට හදා සිය අසල්වැසියන්ට දුන්නාය. ඒ නිසා මේ බිලින් ගස වැඩි අවධානයකට පාත්‍ර විය.
එහෙත් සෙල්ලමටත් වැඩක් නැතිම වෙලාවටත් ගෙට පිටිපස්සේ මේ මගේ කුඩා වන උයනේ සැරිසරන මට අමුතු අදහසක් පහල විය. ගමේ ඉන්නා කාලේ මහ පත ගස් බිමට බාවන හැටි මම දැක තිබේ. ලණු ගැට ගසා මහ විරියක් ගෙන බිම දමන මේ ගස්, බිම පතිත වන්නේ මහා හඩක් සමගය. ඒ හඩට හා මේ ගස් කපන මිනිසුන්ගේ ක්‍රියා විලාසයට මම ආසාවෙන් සිටියෙමි. ඒ ආසාව බිලින් ගහේ අවසානය විය. කුඩා ලනු පොටවල් බැද, ගෙට නොවැටෙන්නට සලස්වා, කුඩා පිහියකින් මුලුදවසක්ම ගත කොට , ටිකෙන් ටික ලනුව තද කල මා..ගහ ඇද වී මා හිතූ පැත්තට බරවන අයුරු මහත් ආසාවකින් බලා සිටියෙමි. අවසානයේ ‘ජිරි බිරි’ ගා බිලින් ගහ මට ඕනෑ ආකාරයකට බිම පත බෑවුනේය. එහෙත් ඒ වීර ක්‍රියාව කිසිවෙකු පිළිගන්නට සූදානම් වූයේ නැත. අම්මා හැරෙන්නට සියලු දෙනාම මට ටොකු අනිනා ලදි. ඒ අස්සේ බාප්පා කුනුහරුපයක්ද කියා බැන්නේය. ලොකු අම්මා කදුලු පෙර පෙර අඩන ලද්දේය.
ඒ අස්සේ අපේ ගෙදර ‘කාලේ කා’ දැමූ අම්මාගේ යාලු වයසක ගෑනු කෙනෙක් මට කාලකන්නියා කියා බැන්නේය. අම්මා ඒ කියමන ඉවසුවේ ඇගෙන් ඇයට නැතිබැරි වෙලාවට කීයක් හෝ ලැබෙන නිසා බව මා දන්නා නිසා …මේ ගෑනු මනුස්සයා අම්මාත් සමග බර කතාවකට වැටුනු පසු ඇගේ අත්බෑගය පිරෙන්නට මුත්‍රා විද්දෙමි. අපේ ගෙදර වරු ගනන් කාලේ කන ඈ ඒ බෑගය කරේ එල්ලාගෙන ‘හප්පා මේ වත්ත පුරාම චූ ගදේ බෑ කියමින් යනවා මම බිලින් ගහ කැපීමේ ආසාවටත් වඩා ආසාවකින් බලා හිටියෙමි.

Posted in Uncategorized | 4 Comments

බිස්කට්

ජයසින්හයට ආසාවෙන් යන්නට තවත් හේතුවක් වූයේ ‘ඇදිහැස’ බිස්කට් සහ හැමදාම වාගේ බිස්කට් බෙදූ ගෑනු ලමයෙකු නිසාය. මේ ඇදිහැස බිස්කට් නියමුවා වූ වික්‍රමසින්හයන් හා ඇදිහැසට ඔහුගේ සම්බන්ධය ගැන ඉතාම මෑතක් වන තුරු මා දැන සිටියේ නැත. රැකියාවට යන අතරේ මේ කයින් මෙන්ම ව්‍යාපාර වලින්ද පතාක යෝධයෙකු වූ වික්‍රමසින්හයන් දැක කතා බස් කර අති නමුත් මා වැන්නෙකුගෙන් මේ මනුස්සයයාට ඇති වුවමනාව කුමක්දැයි මට හිතුනෙන් ලොකු සම්බන්ධයක් නොපැවැත්වූයෙමි. එහෙත් මේ මනුස්සයාගේ බිස්කට් හා බිස්කට් බෙදීම සදහා අපේ පන්තිබාර මිස්ගේ විස්වාසය දිනා සිටි සදක් වාගේ වටකුරු මෙන්ම පියකරු ලමයා මට යලි මතක් වූයේ රූපවාහිනියේ පෙන්වූ වික්‍රමසින්හයන් ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහනක් අතරවාරයේය.
ජයසින්හයේ එකේ පන්තියේ සිට පහ දක්වා පන්ති වලට බිස්කට් බෙදීම සිදුවූයේ මගේ අක්කාගේ අධීක්ෂණයෙනි, එ වන විට ඇය ශිෂ්‍යත්ව විභාගයට ලැහැස්ති වෙමින් සිටියාය. එකල අද මෙන් නොව ‘ළමයින්’ ශිෂ්‍යත්වයට පෙනී සිටි නිසා කලබලයක් කොහොමත් නොවීය. බිස්කට් බෙදීම සදහා වන විවේකයේ අක්කා ගබඩා කාමරයේ තවත් ලමයින් සමග ලකලැහැස්ති වෙයි. උදලු තලේට වදින ‘ තඩි බෝල්ට් ඇණ ‘ හඩෙන් පන්තියේ විස්වාසවන්තම ලමයා ගබඩා කාමරයට යවන්නේය. එහිදී අක්කා එක ලමයෙකුට බිස්කට් පහක් හෝ හයක් වෙන්නට නාමලේඛනය අනුව බිස්කට් බෙදා දෙයි. ඒවා රැගෙන යන්නට පන්ති කාමර සදහා වෙන්කල විවිධාකාර භාජන තිබේ. අපේ පන්තියේද ඉලක්කම ගැසූ ප්ලාස්ටික් බදුනක් තිබින. මේ බදුන ‘ හඳ වාගේ ලමයාගේ’ රට සිටි තාත්තා විසින් ගෙනත් දුන් බව මට මතකය.
ඇය තාත්තා ගැන ආඩම්බරයෙන් කතා කලේය. ඇය තාත්තා ගැන වැඩිපුරම කතා කලේ මා සමගය. ඒ ඈ දවසක මගේ තාත්තා ගැන ඇසූ පසු ‘අපේ තාත්තාත් රටක තමා’ කියා කිවාට පසු ඈ මා සමග බොහෝ මිතුරු විය. එකල අප දෙදෙනා ලියුවේ එකම පැන්සල් ජාතියකිනි. මකන කෑලි දෙකම එකය. සමහර ලියන පොත් එකම වාගේය. ඒ අපේ තාත්තාත් ඇගේ තාත්තාත් එකම රටක එකම ජාතියේ දේවල් එරට සිට එවූ නිසා නොවේ. ඇය මට ඇගේ තාත්තා එවූ එවායෙන් එක බැගින් දුන් නිසාය. ඒ නිසාම ඇගේ අම්මා රතුවන තුරු ඇගේ කන මිරිකුවාය. එහෙත් බොහෝ දවස්වල ඇය මට මේ ‘රට බඩු ‘ ගෙනත් දුන්නාය. සමහර දවස්වල ඇගේ කන කරාබුවට හා අම්මාගේ ඇගිලිතුඩු වලට හසුවී රතුවී තිබුනා මට පෙන්වූවාය. එහෙත් මම එදා ඇයට නැවැත ගෙදරින් පැන්සල් පෑන් මකන කෑලි ගෙන නො එන ලෙස නොකීවෙමි. එ වෙනුවට ‘අපේ තාත්තා රට ඉදන් ආ දවසට’ මේ සියල්ලට හරියන්නට ‘රටබඩු’ ගෙනත් දෙන බවට පොරොන්දු වූයෙමි. ඒ නිසා අප දෙදෙනා හොද මිතුරන් වූයෙමු. එහෙත් ඈ මා කෙරේ වැඩි සෙනෙහසක් දැක්වූවාය.
බිස්කට් කතාව ඈදෙන්නේ එතැනිනි. පන්තියේ බිස්කට් බෙදිල්ල එතරම් ලේසි නැත. කොල්ලෝ කෙල්ලන් පෙරලමින් බිස්කට් වලට අත දිගු කරති. සමහර වෙලාවට මේ ඝොසාවට පන්තිවලට කඩා පනින ‘ප්‍රින්සිබල්’ බිස්කට් වෙනුවට අත පැලෙන්නට වේවැලෙන් ගහති. එහෙත් එක පාරක් ගුටි කෑ එකා ඊලග දවසේද බිස්කට් බෙදනා කෙල්ල පෙරලා හෝ බිස්කට් ගන්නට පොරකති. ‘හඳ වාගේ’ කෙල්ල හැමදා අන්තිමට බිස්කට් බෙදුවේ මටය. ඉන් පස්සේ භාජනයේ ඉතුරුවන කුඩු හා කැබැළි ‘බිස්කට් කුඩ්ඩාට’ දුන්නාය. බිස්කට් කුඩ්ඩා මගේ හොද ගජයෙකි. එහෙත් ඔහුගේ පෙරේත කුඩු කෑමට මම ප්‍රසිද්ධියේ හවුල් නොවුනෙමි. ඉස්කෝලේ ඇරී ගෙදර එන ටිකට කුඩ්ඩා බෙදා දෙන කුඩු පංගුවක් මට හැමදාම තිබුණේය. එහෙත් ඔහුට මා කවමදාකවත් අඹ ගැටයක් පේර ගැටයක් හෝ වෙරළු ගෙඩියක්වත් දී නැත. මගේ මුල්ම නමෙන් මා අමතන ඔහු හැමදාම කීවේ එක දෙයකි. ‘ අර කෙල්ලට කියපන්කො මාත් එක්ක කතා කරන්න කියලා ‘ අර කෙල්ල ගැන කුඩ්ඩාගේ ලොකු කැමැත්තක් තිබිණි. අර කෙල්ල කීවේ ‘හඳ වාගේ කෙල්ලටය’ . ඒ කෙල්ල කිසිදා කුඩ්ඩා සමග කතා කලේ නැත. ඉස්කෝලේ ඉවර වී එලියට බහිනවිටම ඈ මා ලගට එයි. අප දෙදෙනා පාරේ විරුද්ධ පැතිවලට යන නිසා ඈ ඉක්මනින් දිව එන්නීය. දැන් කීයක් තියනවාදැයි අසා මගේ අතේ බිස්කට් දෙකක් තබයි. ඇය හිතන්නේ මා බිස්කට් එකතු කරනවා යැයි කියාය. මම සිනාවෙමි. මගේ බඩජහරිකම ඇය එදා දැනසිටියානම් ඇය කුඩ්ඩා සමග කතා කරනු නොඅනුමානය.
එහෙම වාසනාවක් පිහිටන රේඛාවක් ඇති බව මා අසා තිබේ… එදත් අදත් එහෙම රේඛාවක් මගේ අල්ලේද ඇදී තිබේ. එහෙම රේඛාවක් නැතුව ධන රේඛාවක් තිබුණානම් කොච්චර හොදද..

Posted in Uncategorized | 1 Comment

බස්ටිකට්

අපේ ගෙට උඩින් තිබුනේ ඉරිදාපොළ භූමියයි. ගෙට උඩින් කීවේ, අපේ ගේත් ඉරිදාපොලත් මැදි කරමින් හයිලේවල් පාර දිවූ නිසාවෙනි. එකල අද මෙන් මුලු ලෝකයෙම වාහන මේ හයිලෙවල් පාරේ දිව්වේ නැත. රත්නපුර , අවිස්සාවේල්ල පැත්තේ සිට සීටීබී බස් ආවේද අද මෙන් නොව නිවීසැනසිල්ලේය. රෝසා ‘ෆ්ලැට් රූෆ්’ බස් වල මැද පොල්ලේ එල්ලී නුගේගොඩ හන්දියට යන්නට එකල ශත පනහකට අඩු මුදලක් ගත්තා මට මතකය. ඊට අමතරව කුඩා ‘බට්ටා’වෑන් රථද පොල්පටවාගෙන හයිලෙවල් පාරට සමාන්තරව උඩහමුල්ල නුගේගොඩ ධාවනය කලාද මට මතකය. ඒ කාලේ අපේ අල්ලපු ගෙදර අය්යා කෙනෙක් මහ විසාල ‘නයි’ සරුන්ගල් ඇරියේද මේ හයිලෙවල් පාර දිගේය. එකල සරුන්ගලය අහසට නගින තෙක් කාර් බස් ද නවතාගෙන හිටියේ අදමෙන් අපේ අම්මලා මතක් කරමින් නොවේ. කාර්කාරයෝ වීදුරු අස්සෙන් මේ අපූර්ව සරුන්ගල් උඩ යනහැටි බලාගෙන හිනාවෙමින් වාහන නවත්තාගෙන සිටියා මට අදද මැවී පෙනේ. එකල මම තුනේ පන්තියේ විතර වුවත් හයිලෙවල් පාරේ එහා මෙහා පැනීම මහා ලොකු වැඩක් නොවූයේය. මම එදත් අදත් කඩදාසි කොල කෑලිවලට මහා පෙරේතයෙකි. ඒ අස්සේ ජයසින්හයේ කොල්ලන් අතර මා නොදැන සිටි සෙල්ලමක් බෝවී තිබිණ. එකල සීටීබී බස්වල ටිකට් දුන්නේ මැෂිමකින් නොව එකට බැද බන්ඩලයක් මෙන් ගොනු කොට ලෑලි පතුරකට අමුණා තිබූ අගලක් පලල අගල් දෙක තුනක් දිග පාට පාට ටිකට් තොගයකිනි. මේ ටිකට් ශත දහයේ හෝ පහේ සිට රුපියල් දෙකක් පමණ වටිනාකම් වලට පාට පාටෙන් මුද්‍රණය කොට තිබුනේය. අම්මලා තාත්තලා ගෙදර ගෙනෙන මේ බස්ටිකට් වලට අමතරව බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙමින් කොල්ලන් ඒකල මේ බස් ටිකට් අහුලාගත්තෙය. තැලීපොඩිවී හෝ කුණුගෑවී නැති බස් ටිකට් එහි සදහන් වටිනාකමට වඩා අපට වටින්නේය. මේ බස්ටිකට් සෙල්ලමට මා ජයසින්හෙට ආ පසු ඇබ්බැහිවිය. එතකුදු බස් ටිකට් ගැන මා දැන සිටියේ නැත. කෙසේ හෝ වැඩි කාලයක් යන්නට පෙර මා එහි ‘පකීර්’ කෙනෙකු විය. බස්ටිකට් බිස්නස් එකක් බවට පත්වූයේ ඉන්පසුවය. පෑන් පැන්සල් , පොත්පත්වල සිට වර්නන් මහත්තයාගේ ගස්වල ගෙඩිවලටද අපේ බස්ටිකට් හුවමාරු විය. ඒ නිසා බස්ටිකට් විනෝදාංශයක සිට මහා ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. ඒ නිසාම මම අධික ලෙස රස්තියාදුවට පුරුදු වූ අතර, බිම බලාගෙන හයිලෙවල් පාර දිගේ බස් ටිකට් අහුලන මේ කොල්ලා මතක්වනවිට අදද මගේ හිත සතුටින් පිරී යයි. එකල මම සෙරෙප්පු දැමූ වගක් මට මතක නැත. එහෙත් අපේ පවුලේ අනෙක් හැමෝම සෙරෙප්පු දැමූ බව මට මතකය. ආච්චී ඉතා ලස්සන දිගු ගවුමට ගැලපෙන මල් හැඩ දැමූ සෙරෙප්පු දැමුවාය. අම්මාද කිසිදා රබර් සෙරෙප්පු නොදැම්මාය. ඒ දෙදෙනාටම පාරම්පරික උරුමයක් වූ පැතිර යන තුවාල ජාතියක් වූ ‘දද’ කකුලේ හැදීම රබර් සෙරෙප්පු නොදැමීමට හේතු විය. කෙසේ හෝ මගේ බස් ටිකට් ව්‍යාපාරය නිසා රුපියලක් දෙකක් නිතරම මගේ අතේ තිබුණේය. අතට සල්ලි එන්න එන්නම මගේ රස්තියාදුවත් වැඩිවුනේය. ජයසින්හයේ ඉගෙනුමට වඩා මේ ව්‍යාපාරය ජයෙන් ජයටම ගියෙන් විභාගවල ලකුණු එන්න එන්නම පහලට යන්නට පටන් ගත්තේය. කෙසේ වුව එකල අපව පස්සෙන් පන්න පන්නා උගන්වන ක්‍රමයක් තිබුනේ නැත. අප කුමක් හෝ ඉගෙනගත්තද ඒ අපේ මහන්සියෙන් හෝ ජන්ම හැකියාවෙන් විය. මට මහන්සියට වඩා ජන්මයෙන් ආ මොකක්දෝ දෙයක් නිසා පොතක්පතක් නොදැක වුව සාමාන්ය ලකුණු ප්‍රමානයක් ගැනීමේ හැකියාව තිබුනෙන් ගෙදරට ‘ කම්ප්ලේන්’ ආවේ නැත. අනෙක ජයසින්හයේ කීකරු ලමයන් අතරේ මට හොද තැනක් තිබුනේය. අනෙක ඉන්ග්‍රීසි හා සින්හල විෂයයන්වලට මට තරම් කාටවත් ලකුණු තිබුනේද නැත. ඒ නිසා කිසිම බාහිර බලපෑමක් නැතිව මගේ ව්‍යාපාරය සදහා රස්තියාදු වීමට මට ඉඩකඩ තිබුනේය. එහෙත් හැම ව්‍යාපාරයකටම හතුරෙක් සිටී..මේ හතුරා හැමවිටම ව්‍යාපාර හොදම තැනකට ආ වෙලාවට පැමිණ අහිංසක ව්‍යාපාර සුන්නත්ධූවිලි කරදමයි. මගේ ව්‍යාපාරයටද එහෙම දවසක් ආවේ අහම්බයකිනි. අපේ ගේ ලග සිට නුගෙගොඩ හතේ කනුව දක්වා ටිකට් අහුලමින් පයින්ගිය දවසක මා දුටු අපේ ලොකු අය්යාගේ යාලුවෙක් අය්යා ‘අවුස්සා’ තිබින. මා බස් ටිකට් තොගයක්ද එකතුකරගෙන ගෙට ආවා පමණි. ඉදහිට ගෙදර ඇවිත් යන ලොකු අය්යා මගේ කනෙන් ඇල්ලුවේය. අහුලාගෙන ආ බස්ටිකට් ටිකත් සුරුට්ටු පෙට්ටියක දා එකතුකරගෙන සිටි හොදම බස් ටිකට් ටිකත් හීන් පොද වැස්සක් වෙලාවක මිදුලට විසික් විය. මට නොසෑහෙන්නටබැන වැදුනු අය්යා මා රස්තියාදුකාරයෙකු වෙන්නට දී ඇහැකන පියාගෙන ඉන්නේ යැයි අම්මාටද නෝක්කාඩුවක් කීවේය. එහෙත් අය්යා මගේ ටිකට් මට යලි අහුලාගන්නා හැකිවන ලෙස විසීකර තිබුණුබව මට මතකය. ඔහුට ඕනෑ වී තිබුනේ මා හයිලෙවල් පාරේ රස්තියාදුවේ යන එක නවත්තන්නට වෙන්නට ඇතිය. මට මේ කේලම කී අය්යාගේ යාලුවා පිළිබද ලොකු තරහක් ඇතිවිය.කවදා හෝ ලොකු වී පලියගන්නට එදා මම හිතාගත්තෙමි. එහෙත් ඒවා කාලය සමග මැකීගියේය. පොඩිකාලේ අපිකොයිතරන් දේවල් හිතනවාද…එහෙත් මේ අය්යාගේ යාලුවා මට මීට අවුරුදු දෙක තුනකට පෙර අහම්බෙන් මුනගැසුනේය. මුනගැසුනා කීවාට මම අහුන්ගල්ල පැත්තේ යාලුවෙකු මුනගැහීමට ආවිටක හදිසියේ අපේ වාහනය නවත්වා ‘මහ ඇමැතිතුමා යනනිසා පාර වහනබව’ කියා පොලීසියෙන් අප නැවත්වූ විට, මේ කරදරකාර ඇමැතියා කවුදැයි මම අසා දැනගත්තෙමි. එ සමගම මගේ බස්ටිකට් කතාව මතක්වූයේය. ලොකු කලු ජීප් රථයක නැගී පොලිස් ආරක්සාව සමග උජාරුවෙන් ගිය අලි බඩක් සහිත, එදා මා රස්තියාදුකාරයෙක් වෙන්නටනොදී බේරාගත් මේ ‘කේලමා’ දුටු විගස මගේ බස්ටිකට් මිදුලපුරා විසිරී වැස්සට තෙමෙන හැටි මතක් විය.

Posted in Uncategorized | 8 Comments

ජයසින්හෙ..

අම්මා නුගේගොඩට ආ පයින්ම පොඩි අක්කාත් මාත් ඒ ලගම පිහිටි ජයසින්හ ඉස්කෝලෙට දැම්මාය. එකේ සිට පහ පන්ති දක්වා වූ මේ පුංචි ඉස්කෝලේ මගේ තවත් නවාතැනක් විය. අපේ ගෙදර සිට පයින් ඇවිදින්නට හැකි දුරින් ජයසිංහය පිහිටියෙන් අප දෙදෙනා පයින්ම පාසල් ගියෙමු. අප දෙන්නා කීවාට මම හැමදාම ගියේ පිටුපස්සෙ වැට පැත්තෙනි. මගේ පන්තියේ එවුන් උදා රැස්වීමද ඉවර වී ‘ප්‍රින්සිබල්’ සර්ගේ දීර්ඝ කන්දොස්කිරියාවද හිටගෙන අසා පෝලිමේ පන්තියට එනවිට මම සැපසේ කුඩා පුටුවක වාඩි වී හිදිමි.උදේ නැගිටින්නට අදද මම මහා කම්මැලියෙකි. එදත් අම්මා මට ආදරය කලාය. මා උපන් කම්මැලි කමෙන් නිදන විට අම්මා මා එකවරක් සෙමෙන් කූද්දා ‘ අද වුවමනාම වැඩක් නැත්නම් ගෙදර ඉන්නැයි’ කීවාය. ඒ නිසා මා ජයසිංහයට ගිය ගමන නිවාඩුවක් මෙන් විය. මේ මා ‘තොදොල් කිරීම’ ගැන දෙවැනි අය්යා අම්මාට දොස් කී බව මට මතකය. අම්මා පෙරලා දෙවනි අය්යාට කිසිත් කීවේ නැත. අම්මා තමන් කරන්නේ වැරද්දක් බව දැන සිටියාය. එහෙත් අපේ අම්මා එහෙමය. මා ඒ ගැන කිසිදු විටක අහිතක් හිතා නැත. කෙසේ හෝ අක්කා ඉගෙනීමේ පුදුම දක්ෂකමක් දැක්වූවාය. ඈ හැමවිටම පාඩම් කලාය. තාත්තා දරා ගැනීමට බැරි තරම් බී ගෙදර විත් අම්මාගේ කෙහෙවල්ලෙන් අල්ලා ගුටි දෙන විට අපි අම්මාගේ ඇගේ එල්ලී ඈ බේරාගන්නට වළිකන වෙලේ පොඩි අක්කා පොතක එල්ලී නිසොල්මනේ උන්නාය. ඇගේ ප්‍රාර්ථනා අදටත් සාර්ථක නැතිවීම ගැන මම නිහඩව දුක්වෙමි. මා එසේ කියන්නේ ඈ මාතර පිරිමි ඉස්කෝලෙක විද්‍යා ගණිත ගුරුවරියක වීම නිසා නොව ඇයට ඉන් එහා බොහෝදුර යන්නට උදව් දෙන්නට කිසිවෙකු නොසිටි නිසාවෙනි. ජයසිංහයේදී අක්කා හැමදාම පන්තියේ පලමුවැන්නිය විය. සතියකට දවස් දෙක තුනක් ඉස්කෝලේ ගිය, කිසිදු පාඩම් පොතක් හරියට නැති මමද හැමදා පන්තියේ පලමුවැනියා විය. එහෙත් අක්කා හැම විෂයකටම ලකුණු අනූවකටත් වඩා ගන්නා විට මා සමහර විෂයනට ගත්තේ ලකුණු දහයක් හෝ පහලවකි. අක්කා මැට්ටන් අතර විශිෂ්ඨ වන විට මම මැට්ටන් අතර උසස් මැට්ටෙක් විය. අක්කාට මේ නිසා ශිෂ්‍ය නායිකාවක ලෙසද තනතුරක් තිබූ අතර එකලද අක්කාට මුලු පාසලම ලොක්කියකුට මෙන් සැලකුවේය. අප දෙදෙනා ජයසිංහයට ගිය ගමන මගේ ජීවිතයේ තවත් නොමැකෙන මතකයකි. හයිලෙවල් පාරෙන් වනාත පාරට හැරෙන අපි ස්ටැන්ලි තිලකරත්න මහතාගේ මල්ලී වූ වර්නන් තිලකරත්නගේ නිවසේ තාප්පයේ වැඩි කලක් ඉදින්නෙමු. විසාල වත්තක මුල් කොටසේ අඹ ජම්බු, නාරන් හා විසාල දිවුල් ගසක් තිබූ අතර මගේ පරක්කුවටම දායක වන කොලු රැලක්ම හිටියේය. අප ජයසිංහයේ පන්තිකාමර වලට යනවිට අප ලග ගස් ගදේ ඉන්නට බැරිය. එහෙත් සාක්කුවල ජම්බු, අඹ ගැට වෙරළු නිසා අනෙක් එවුන් කිසිවක් කියන්නට හයියක් ගත්තේ නැත. එකල කැන්ටීන් හෝ ටක්ෂොප් කියා ජාතියක් තිබුනේ නැත. අම්මලා තාත්තලා ‘පොකට් මනී’ කියා ජාතියක් දුන්නේත් නැත. කෙල්ලන් කොල්ලන් හට බඩ පිරෙන්නම බොන්නට හෝ ගා වතුර ගලන ටැප් එකක් නම් තිබිණ. ඒ නිසා අපේ සාක්කු නිතරගයෙන් අපව ‘ලීඩර්ලා’ කොට තිබුණේය. ඒ අතරේ කෙල්ලන්ද අපට වැඩි කැමැත්තක් තිබුණේ මේ නිසා වන්නට ඇත. ඒ මොනවා වුවත් වර්නන් මහතාගේ බල්ලන් මහා සැර එවුන් විය. උන්ගෙන් බේරීමට තාප්පයෙන් කෙලින්ම ගහට පැනගත යුතුය. මේ සෙල්ලමේ මා දක්ෂයෙකු විය. එහෙත් අද මෙන් එදාත් ඒ බල්ලාට වැඩිය බල්ලාගේ අයිතිකාර නෝනලා නපුරු විය. නෝනලා බල්ලන් පමණක් නොව ගෙදර මෙහෙකරුවන්ද අප පස්සේ පැන්නවූයේය. එහෙත් ඒ ගෙදර වැඩට සිටි දෙමල කොල්ලෙකු මට මතකය. ඔහු එකල කොල්ලෙකු නොව තරුණයෙකු වූයේය. මේ දෙමලා අප එනවිටම අර බල්ලන් කූඩු කරන්නේය. බල්ලන්ගේ කෑගැස්ම නිසා අවදිවන නෝනලා බල්ලන් ලෙහන්නට අනදෙන විට අප ජයසින්හයේ පන්තියක වාඩි වී දවසේ පන්සිල් අරගෙනත් හමාරය. එහෙම ‘දෙමලුන්ට’ ඊට ටික කාලයකට පසු ‘අලි ගල්ගෙඩි’ වලින් බිම දමාගෙන ගහන හැටි දකින්නට තරම් වාසනාවන්ත ‘ සිංහලයෙකු ‘ වීම අදටත් මගේ හිත පාරවයි.

Posted in Uncategorized | 4 Comments

නුගේගොඩ

ගමේ ජිවිතය පිළිබද මගේ මතකය බොහෝ අඩුය, ඊට හේතුව මගේ ජීවිතයේ විවිධාකාර පෙරළි සිදුවූයේ ගමෙන් පැමිණ නුගේගොඩ පදිංචියට හා එහිම පාසල් දෙකකට යාමට සිදුවීමෙන් මට හමුවූ මිතුරන් බොහෝදෙනෙකු නිසාවෙනි. ඒ නිසා ගමේ සිදුවූ සමහර දේ මට දැන්ම සිහි‍යට නො එතත් පසුව මතක් වූ විට ලියන්නට කල්පනා කොට සිටිමි. ගමේ සිදුවූ දේවල් එහෙන් මෙහෙන් පටලැලි සහගත ලෙස මතක් වන අවස්ථාද ව අතර තිබේ. වරක් අප කුලී ගෙදරක ඉදිද්දී තාත්තාගේ යාලුවෙකු රඹුටන් වාරයක රඹුටන් කූඩා තොගයක් කොළඹ රැගෙන යන තෙක් අපේ ගෙදර ඉස්තෝප්පුවේ තියා ගියා මට මතකය. රඹුටන් කූඩා අරන් යන්නට ආ ලොරියේම අම්මා මා රැගෙන දොස්තර කෙනෙකු වෙත ගියාය. මා කොයිතරම් රඹුටන් කෑවේද කියතහොත් මට හැදුනේ බඩේ අමාරුවක්දැයි කීමට පවා නොහැකි ලෙස මා මත්වී සිටියේය. තවත් වරෙක දෙවැනි අය්යා පොල් අතු කිහිපයක් සෙවිළි කල කුඩා සිල්ලර කඩයක් දැමුවා මට මතකය. එය සෙල්ලම් කඩයක් නොව ඇත්තටම ගනුදෙණු කල කඩ පොඩ්ඩක් විය. මගේ මතකය හරිනම් මෙහි තිබුනේ අය්යා විසින්ම හැදූ ‘පකඩ’ බෝතලයක් හා ගමේ කෙසෙල්කැනකුත් බුලත් හෝ කංකුන් මිටි දෙක තුනක් පමණි. පකඩ නම් අය්යා විසින්ම මිරිස් කැබැළි, පාන් පිටි , ලුණු මිශ්රි කොට තෙලේ බැදගත් ‘බයිට්’ එකකි. ඒ පකඩ බෝතලයෙන් මා නොසිටින්නට අය්යා හොද ලාබයක් ගන්නට තිබිණි. එහෙත් මා මොකක් හෝ දහංගැටයක් යොදා පකඩ බෝතලය හිස්කලෙමි. එකල මට හොරකමක් හෝ නොදැනෙන්නට කරගන්නට බැරි බව කියමින් අය්යා මට ‘මොලේ පෑදෙන්නට’ ටොකු ඇන්නේය. අදත් මා මේවා මතක් කරන්නේ සතුටෙනි. එහෙත් එදත් අදත් මට ඉවසාගත නොහැකි එකම දේ ගුටියයි. ගුටියක් වදින හැම පාරකම කොහේදෝ සිටින යකෙක් මගේ ඔලුවට එයි. මා පෙරලා අය්යාට ගලකින් හෝ ගසා මගේ වාඩුව ගත්තෙමි. නුගේගොඩදී මේ අය්යාම මට අරියාදුවක් කල වෙලේ මිටියකින් නලලට ගැහුවා මතකය. අක්කලාට බිම දාගෙන ගුටි දුන්නේ මට අරියාදු කල විටකදීය. අන්තිමේ මැදපෙරදිග සේවය කරද්දී මගෙම ‘ගොන් ‘ වැඩකට ලොකු අය්යා මට බැන අඩද්දී ඉවසාගෙන සිටියත් මගේ මේ ‘කුපාඩි ඉවසීම’ අය්යාගේ සීමාව ඉක්මවා ගියෙන් මට කම්මුල් පහරක් ගැසුවේය. අර කී යක්සයා කොහෙදෝ සිට විත් අය්යාගේ මුහුණ හරහා මිට මොලවා පහරදුන්නේය. එදා මේවා ජීවිතය වෙනස් කරවන සුලු වුවත් අද හීන් සතුටක් ගෙනදෙයි. කෙසේ හෝ ගමේ ඉස්කෝලයෙන් අස්වී අප නුගේගොඩට ආවෙමු. ඒ ආ විදිය පිළිබද මට මතකයක් ඇත්තේම නැත. අප ආවේ ලොකු අම්මා පදිංචිව සිටි අම්මලාගේ මහගෙදරටය. නුගේගොඩ හයිලෙවල් පාරේ ඉරිදාපොළ ඉදිරිපසම පල්ලමකට වෙන්නට තිබූ මහගෙදර ඉඩමේ බාගයක් තාත්තා විකුණා දමා තිබුණේය. එය අයිතිකරගත් අය ඉඩම බෙදෙන්නට වැටක් ගසා වෙන්කොත තිබුනද ගෙයි මැදින් ඔවුන්ගේ කොටස වෙන්කොට තිබුනේ නැත.ඒ නිසා ලොකු අම්මා ඉස්තෝප්පුව, සාලය හා කාමර දෙකක් කුස්සියක් අපට වෙන්කර දුන්නාය. ඇය එක කාමරයක් හා පිටුපසින් ඈදා ගත් කුඩා කුස්සියක් සමග බාප්පා හා දියණිය සමග විසුවාය. ඇය හා අප වෙන්කෙරුනේ අපේ සාලයේ දොරකිනි. මේ දොර ඔවුන්ගේ පැත්තෙන් යතුරු ලා වසා තිබුණේය. එකල ලොකු අම්මා අපෙන් කුලියක් කියා ගත්තේ රුපියල් සියයක් හෝ ඊට අඩු ගනනකි. සමහර මාස වල කුලිය පරක්කු වූ විට ලොකු අම්මා පරල වන්නීය. එහෙත් ඒ ක්ෂනයෙන්ම ඇගේ හිත තම සහෝදරිය වෙනුවෙන් උනු වන්නීය. අම්මා එහෙන් මෙහෙන් එකතු කරදෙන කුලියට වඩා, අම්මා ලොකු අම්මාගෙන් ඉල්ලාගන්නා අතමාරු වල වටිනාකම වැඩිය. ඒවාද ගනු මිස දෙණු නොවේ. අපේ සාලයේ පුටු වර්ග දෙක තුනක්ද එක මේසයක්ද තිබූ අතර මේ මේසය යට මා අම්මා සහ අක්කලා සමගද, මේසය උඩ අය්යලා දෙදෙනෙක්ද නිදාගත්තේය. මේ ගෙදර තිබූ එකම පහසුකම විදුලිබලයයි. මේ විදුලිබලය මට එදා මැජික් වන් විය. දෙකේ පන්තියෙන් සමත්වී තුනේ පන්තියට ආ මට රවුම් කලු පැහැති ස්විචය එබූ සැනින් පරාලයට උඩින් පත්තු වී එන මේ බල්බය අරුමයක් විය. ඒ අරුම බල්බ පිච්චී ගියවිට අම්මා ගෙනෙන අලුත් බල්බය දමන්නට සමත් කෙනෙකුට හිටියේ දෙවැනි අය්යා පමණි. ඔහු එවන් වැඩවල දක්ෂයෙකු විය. ඒ හැම වාරයකම මටත් එවැනි දේ කිරීමට ඕනෑ කමක් තිබුනද මගේ ‘පොඩි කම’ ඊට හරස් විය. ‘හ හා කරන්ට් එක්ක සෙල්ලං නෑ ” අම්මා කෑගැසුවේය. එහෙත් ඒදත් මා අම්මා කියන දේ අහැවේ නැත. කුඩා කෝටු කැබැල්ලක් ගෙන අප නිදාගන්නා මේසයට යට ඇති රවුම් හැඩති , අම්මා , ප්ලග් එක ‘ යැයි කියූ සිදුරු අතරේ තද කලෙමි. කිසිත් වෙනසක් නැත. මා දිවගොස් දෙවැනි අය්යාට ‘මුකුත් වුනේ නෑ ඕයි..’ කියා කෝටුව පෙන්නුවෙමි. ඔහු මට සමච්චලයට හිනා විය. ‘ දාලා බලපං ඇගිල්ලක්..අහුවෙයි කරන්ට් එක..’ ඔහු කීවේ විහිලුවට බව මට තේරෙන විට මගේ කෑගිල්ලට අම්මා විත් මා බාබකිව් එකක් වන්නට පෙර කොස්සෙන් ඇගිළි පුරුකක් ඉදිමෙන තුරු ගැහුවේ මා බේරාගන්නටය. ඉන්පසු දෙවැනි අය්යාට එක අතක් නිල්වන තුරු ඒ කොස්සෙන්ම අම්මා ගැහුවේය. අම්මාගෙන් ගුටි කනු මා දැක නැත්තේ ලොකු අය්යා පමනකි. අනෙකා මාය. ගෙදර එවුනුත් පිට එවුණුත් ‘ මූ ඉපදුන දා සිට උබලාට කරදර’ යැයි කීම අම්මා මට ගුටි නොදෙන්නට හේතුව වන්නට ඇත. අද මම මගේ ජීවිතයේ සිව්වැනි දශකයත් පසුකරමින් සිටිමි. මා අද ඉන්නා තැන ඉන්නේ අම්මා මා ‘ගහලා – කරලා’ හදපු නිසා නොව සෙනෙහස දී ආදරය කල නිසාවෙනි.

Posted in Uncategorized | 8 Comments

පැදුරු

මේ ලගකදී මගේ පොඩිම එකාගේ (ඌ, මූ, අරූ, මචං, යකෝ,බං ආදී නොයේකුත් නොහොඹිනා වචන මගේ සමීපතමයන්ට පම්ණි ) පාසලේ මොකක්දෝ වැඩකට පැදුරක් ගෙන එන ලෙස මහා කරදරයක් විය. අනෙක පැදුරු ගන්නට තැන් දෙක තුනකටම යන්නටත් සිදුවිය. ඊලග කාරණේ පැදුරු තිබුනෙත් ප්ලාස්ටික් වියමිනනි. කෙසේ හෝ මේ හදිසි ඉල්ලීම ප්ලාස්ටික් පැදුරක් අරන් දීමෙන් විසදිනි. එහෙත් පසුදා රැකියාවට යන අතරේ මගේ හිත මොකක්දෝ අදුරු හැගීමක සිරවිණි. ඒ කිමක්දැයි මට හරියාකාරව තේරුම් ගන්නත බැරිය. එහෙත් ඒ මේ පැදුරු කතාවම බව මගේ හිත කියයි. පැදුරු තරම් සමීප දෙයක් මට තවමත් හමුවී නැත. මගේ ජීවිතයේ බොහෝ දේ පැදුර සමග මොකක් හෝ සම්බන්ධයක් ඇත්තේය. සීයාගේ බූරු ඇදේ ..මාමාගේ ගොම ගෑ පොළව උඩ ඇතිරූ..අම්මා අක්කලා එක්ක සීතල සිමෙන්තියේ …කීයක් නම් කියා මතක් කරන්නද…මකුණෙක් දුටුවිට අද මගේ කකුල් සීතල වෙයි. කෑවොත් පළු එයි..එහෙත් එදා පැදුරු වාටි අස්සේ මකුණු පවුල් ජීවත් වුනේ අපි උන්ට ආදරේ බව නිසා උන් හිතන්නට ඇත. එහෙත් අපේ කම්මැලි කම නිසා මකුනෝ සුවසේ ජීවත් උනෝය. උන් උන්ගේ සීමාව තරණය කල විගස අපි කකුලේ මහපටගිල්ලෙන් උන් පොඩිකර එතනම මරා දැමුයෙමු. මා කිසි දවසක නිදා නැගිටින පැදුරු ඇකිලුවේ නැත. ඒ ඇකිලීම නැතිනම් රෝල් කිරිල්ල අම්මාම කලේය. නැත්නම් මා හදන විදියේ කිසිම ගතයුත්තක් නැත කියා ලොකු අක්කාම ඒවා කලේය. එකල මටම කියා පැදුරක් නොතිබුනාට කොට්ටයක් හා පෙරවීමට රෙද්දක් තිබුනේය. මේ පෙරවන රෙද්ද අම්මාගේ පරණ වොයිල් සාරියක් විය. මා තාත්තාගෙන් උගත් එකම දේ මේ සාරිය වටේ කොට්ට උරයක් මෙන් මසා ගන්නා එකය. එවිට ඊජිප්තුවේ මමියක් මෙන් ඉසේ සිට මහපටගිල්ල දක්වා වසාගෙන මදුරුවන්ගෙන් බේරිය හැකිය. මහ ගිනි රස්නේ දවස්වල පවා අපි ඉහේ හිට පෙරවාගෙන නිදන්නෙමු. මට මේ නිදන හැටි, දවසක ගිනි තියාගෙන මළ මගේ මිතුරෙකුගේ සිරුරක් හදුනාගැනීමට මෝචරියට ගියවිට දැක ගන්නට ලැබී මගේ මිතුරාගේ වියෝවේ දුකට උඩින් හීන් සිනාවක් මතුවූයේය. එක පෙලට එක එක පාට රෙදිවලින් ඔතා තිබූ මල් ශාලාවලින් ගෙනයාමට නියමිත මළමිනී හත අටක් පෙලට පැදුරක් උඩ තබා තිබුනේ ය. එකල අප නිදන හැටි කෙනෙකු දුටුවානම් මගේ හීන් සිනාව නොව කොක් හඩළා සිනාසෙනු ඇත. එහෙත් මේ දුර්භාග්යය අස්සේ අප විටින් විට සතුටෙන් ජීවත් වුනෙමු. අදද අපට කියා සතුට සමාජයක ඇත. ලොකු අය්යා ලංකාවට ආ විටද ..තුන්වැනි අය්යා පඩි අරන් ආ දවසටද..ඒ මොකුත්ම නැතත් අද කාලයේ පවුලේ අපි කිහිපදෙනෙකු කොහේ හෝ හමුවූ විටකද මේ සතුටු සමාජ වල ගිලී ඇති පදම් හිනාවන්නෙමු. ඒ පුරුද්ද ආවේ කොහෙන්දැයි මම නොදනිමි. එහෙත් අපේ ගෙදර කාටත් හිනා ‘ගැස්සීමේ’ හැකියාවක් තිබිනි. පහු කලෙක ලොකු නෑනා මේ සමාජයේ උඩින්ම සිටියාය. ඈ සැප සතුට ඔස්සේ විත් අපේ කරදර පවුලට එකතු විය. එහෙත් ඒ දුක් කම් කටොළු ගැන ඇය කිසිදා දොස් කියනු මා අසා නැත. අපි කුප්පි ලාම්පු එලියේ පැදුරු උඩ පිරුනු හෝ හිස් බඩවල් අල්ලාගෙන හිනාවූයෙමු. ‘පැට්රෝල්මැක්ස්’ ලැබුනදා අම්මා අලුත් සෙල්ලමක් ඉගැන්වූවාය. අපි දෙතුන්දෙනෙකු බිම පැදුරක් දා උඩබැලිව නිදාගන්නෙමු. අම්මා ඊට උඩින් ලොකු පැදුර දමන්නීය, ඉන් පසු ඒ උඩට ඇගේ පාට පාට වොයිල් සාරි දමන්නීය. ඉන් පසු පැට්රොඩල්මැක්ස් එකේ එළිය අඩු වැඩි කරන්නීය. පැදුරට යටින් අපේ ලෝකය සුරන්ගනා ලෝකයකි. එළිය අඩු වැඩි වන තරමට පැදුරේ කුඩා හිල් වලින් පාට පාට අලෝකය එයි. පොඩි අක්කාද මාද මේ අපූරු රටා වලට වශී වුනෙමු. අම්මා එක සාරියක් ගෙන තව එකක් පැදුරට උඩින් දමනා වෙලේ ඇතිවී නැතිවී යන ආලෝක දහරා මට තාම මතකය. ඒවා මගේ දරුවන්ට දෙන්නට තරම් මා ශක්තිමත් නැත. ඒ වෙනුවට චීනයේ පදික වේදිකාවක තිබී සීනිකැට තරමේ ‘ලුමිනස්’ තරු කැට ගෙනත් දුන්නෙමි. ඒවා සීලිමේ ඇලවී රෑ නිදද්දී වෛවර්ණ ආලෝක ගෙන එයි. ඒ මගේ හැටිය. මගේ හැටි එහෙමය. මගේ හැටි මටද නොතේරෙන හැටිය…

Posted in Uncategorized | 1 Comment

හීන ප්ලෑන්

එක් සාමාන්‍ය දවසක මගේ හිතට අමුතු සිතිවිල්ලක් පහල විය. එය එකල සාමාන්‍ය හැගීමක් වූ බව මට මතකය. මේ සිතිවිල්ලට චිත්‍රපට හෝ චිත්‍රකතා හෝ නවකතා එකල බලපාන්නට ඇතිය. එහෙත් මට මේ සිතිවිල්ල ඇතිවූයේ අහම්බෙනි. සමහර විට ගෙදර ඇති නොයාකාර කරදර හා දුක් ගැනවිලි මගේ කුඩා සිත පොලඹවන්නට ඇත. ඒ කිසිවක් නොවන්නටත් ඇත. කෙසේ හෝ ගෙදරින් පැන යන්නට මම තීරණය කලෙමි. මගේ ‘ප්ලෑනට’ අනුව මම හදිසියේ ගෙදරින් පැන යමි. පැන ගොස් ඈත පලාතක කඩයක වැඩ කරමි. ඒ අතරතුර ලැබෙන හැම සතයක්ම ඉතුරුකරගනිමි. ටික දවසක් ගතවන විට කඩේ අයිතිකරු මට සිය දරුවකුට මෙන් සලකනු ඇත. ඉන් පසුව මම කඩේ සියලුම වැඩ බාරගනිමි. එයිනුත් කලක් ගිය තැන මේ මහලු කඩ අයිතිකරු මට මේ ව්‍යාපාර සියල්ල බාර දෙනු ඇත. එවිට මා කුලී රථයක් ‘කතා’ කරගෙන අම්මා බලන්නට යමි. සමහර විට අම්මා කැටුව එමි. මෙවන් ඉවරයක් නැති විකාර සිහින මැද මම නිවාඩු දිනයක් වූ දවසක කිසිවක් අතේ නැතුව ගෙදරින් පිට වුනෙමි. මගේ හීන ප්ලෑනට අනුව කවුරුන් හෝ ‘පුතා කොහෙද යන්නේ..එන්ට මා සමග..මගේ ගෙදර නැවතුන හැකි..’ කියා ඇසුවේ නැත. එහෙත් එක පාරටම ආපහු හැරෙන්නටද බයය. ඒ නිසා දිගටම ගියෙමි. මා මේ දැන් යන්නේ කොළඹ පැත්තට නොව අනෙක් පැත්තටය. ඒ බව එදා මම නොදත්තෙමි. කෙසේ හෝ ගමෙන් නගරයට යන බවක් වෙනුවට තවත් ගම ඇතුලටම යන බවක් මට පෙනෙයි. මහා රබර් කැලෑවල් මැදින් දිවෙන තාර පාරදිගේ තනිවම ඇවිද යන මට බයක් දැනෙයි. ඒ බය අද මෙන් බෙල්ල මුලින් අල්ලාගෙන කැලෑවට ඇදගෙන ගොස් බෙල්ලෙන්ම මිරිකා මරා දමාවිය යන බය නොවේ. අපි මේ ඝන රබර් වගාවේ අදුරට බය වුනෙමු. එකල සරුංගල් හා වෙසක් සමයේ කූඩු හැදීමට ඔට්ටුපාලු ගලවා ගැනීමට රබර්වතු අස්සේ බඩ ගෑවද මහා ගුප්ත අදුරේ මහ දවල් වුව අපි තනිව නොගියෙමු. අන්තිමේ මම ගැහි ගැහී පාලු රබර්වතු පහුකලෙමි. අවසානයේ දහවල් වන විට මා ඉන්නට ඇත්තේ සාලාව තුනීලෑලි සංස්ථාව හරියේ බව මට මතකය. ඒ හරියේ සෙනග හිටි බැවින් මගේ බිය තරමක් ලිහිල් විය. එහෙත් අධික බඩගින්න ඇරෙන්නට මගේ ‘හීන ප්ලෑනේ’ කිසිවක් සාර්ථක වී නැත. මා හදාවඩා ගන්නා මට සිය ව්‍යාපාර ලියා අයිතිකරදෙන්නා තවම හමුවූයේ නැත. අඩුම තරමේ මේ කොල්ලා අනාත වී ඇවිද යන බව දැක පැහැරගෙන ගොස් කරවල වෙලීමට දූපතකට ගෙනියාමට කිසිවකු ආවේද නැත. අනිතිමේ මම කුඩා තේ කඩයක් ලග නැවතුනෙමි. එතැන ‘පිංතාලියක් ‘ තිබුනේය. වතුර පොල්කටු දෙක තුනක් බීවෙමි. මගේ වාසනාවට එය කඩේ හුන් කෙනෙකු දැක තිබුනේය. ‘මෙහෙ එනවා..කොහෙද ගෙවල්..මේ හවස් වෙනකං මෙහෙ මොනවා කරනවද..ගෙදර අය දන්නවද..’ මේ ප්‍රශ්න වැලටම උත්තර දෙනවිට මම ක්‍රීම් බනිස් ජෝඩුවක හා ලොකු ඇම්බුං ගෙඩියක හිමිකාරයෙකු වී සිටියෙමි. එකල එහෙමය. ලොකු වුන්ගේ හිත් පොඩි එවුන් වෙනුවෙන් උණුවෙයි. නිකන් ලැබුණු ප්ලේන්ටිය සමග මගේ හිත හොදටම සතුටුය. එහෙත්මේ රෑ වෙමින් පවතින වෙලාවක මා අයෙමත් යන්නේ කොහොමද…මගේ අතේ සතයක්වත් නැත. ඊට අමතරව මා අම්මා සමග ඇරෙන්නට බස් එකක ගොස් නැත. මගේ බය දැන් දෙගුන වෙයි. අම්මා මා සොයනවා ඇත. මට බඩගිනි වී ඇතැයි ඇය දුක්වනවා ඇත. එහෙන් අය්යලා මගේ කනෙන් අල්ලා ටොකු අනිනු ඇත. අක්කලා මට ලැජ්ජාවට හිනා වෙනු ඇත. ඒ සියල්ලට වඩා වටේ පිටේ එවුන් මට නක්කලයට හිනා වෙනු ඇත. මගේ හීන ප්ලෑන එහෙන් පිටින්ම හීනයක් වී තිබේ. මට බය දැන් කරවල වාඩි ගැනය. ඒ අස්සේ මට කන්නට දුන් මිනිහා කඩේ මුදලාලි සමග කුටු කුටුවකය. මේ මිනිහා මා ඔහුගේ ගෙදර ගෙනගොස් වැඩකාරකමට ගනු ඇත. මට කියා වලන් හෝදාගනු ඇත දර පලාගනු ඇත. කුඹුරු වැඩ රබර් කිරි කපාගැනීම කරනු ඇත. මා දැන් හදන්නේ ආපස්සට දුවන්නය. එහෙත් ඒ ප්ලෑනත් අවුල් කරමින් ඒ මිනිහා මා දෙසට ආවේය. ‘කොල්ලො උඹලගේ තාත්තා මං දන්නවා සාලාවේ අපේ යූනියං එකේ බාලාතම්පො මහත්තයා එක්ක ඇවිත් කතාවකුත් කලා..ඒ මහත්තයගේ පුතා මෙහෙම රස්තියාදු ගහන එක ඒ මහත්තයට හොද නෑ…’ යන් යං මං ඇරලවන්නං ගේ ලගට..’ මේ මිනිහා මනුස්සයෙකි. මේ මනුස්සයා මා කැටුව බස් එකකට නැග , මගේ ගෙදරට හැරෙන හන්දියෙන් මා බස්සවා..යලි රස්සාවට යන්නට හදිසි යැයි කියා යන්නට ගියේය. මම මගේ කල්පනා ලෝකයේ ගිලී පාවි පාවී ගෙදර ආයෙමි. මා බලාපොරොත්තු වූ කලබගෑනියක් නැත. සියල්ල චංචලය නිසලය අම්මාද චීත්තයක් පෙරවාගෙන පැදුරේ නිදිය. මම ඇය ලග ඇලවුනෙමි. ඉස්සර අපි හවසට ඇලෙන් නා ගෙදර ආවා මිසක හවස ‘වොෂ්’ දා නිදාගත්තේ නැත. අම්මා වෙනදා මෙන් මා අත නොගෑවාය… එහෙත් නින්දෙන් මෙන් මට කියු දේ මගේ පපුවටම කිදා බැසි පිහිතුඩක් මෙන් විය. ‘ බත් බෙදලා ඇති ..බත් මුට්ටියෙ බිත්තරයක් ඇති ඇවිදලා ඇවිදලා මහන්සි ඇතිනේ…මොන දේ කරන්නත් ඉගෙන ගෙන ඉන්නවා…දැන් ඉතින් සද්ද නැතුව කාලා ඇගට වතුර එකක් දාගෙන එනවා..ගදේ බෑ… (ඈ සද්ද නැතුව කීවේ මේ බිත්තරය ගැන බව සක්සුදක් සේ දනිමි. පවුලේ අනෙක් අය හාල්මැස්සන් හොදි සමග බත් කා නිදියන්නට ඇත.) ඒ පිහිතුඩ නොවන්නට මම අදද කාගේ හෝ අගුපිලක කුලී කාරයෙක් වනු ඇත. එහෙත් අම්මා මගේ ‘වීර’ ක්‍රියාව දැනගෙන කීවාද නැතිනම් මා වෙනදාට වඩා වැඩිපුර රස්තියාදු ගසා ආ නිසා කියා හිතුවාද කියා මා අදද නොදනිමි.

Posted in Uncategorized | 1 Comment

බීඩි

මේ කතාව පිළිබද මට ඇත්තේ අඩු මතකයකි. එහෙත් මේ සිදුවීම් මගේ මතකයේ කොනක ඉතිරිව මියෙන්නට දෙන්නට බැරිකමක් තිබේ. මේ සොදුරු මතක පිලිසකර කර, ගොඩ දා ගත යුතුව තිබේ.මන්ද මා මිනිහෙකු ලෙස හැදී වැඩී තිබෙන්නේ කාලය සමග නිසාවෙනි.
අපේ ගමට ඇතුලුවන්නට තිබුනේ හයිලෙවල් පාරේ සිට අවිස්සාවේල්ල දෙසට දිවෙන තාර පාරේ සිට වමට වන් කුඩා පාරකිනි. මේ පටුමගට හරි කෙලින් තාරපාරෙන් අනෙක් පැත්තේ පාර අද්දරම කලුගල් තලාවක් උඩ කුඩා මැටි ගෙයක් තිබුනේය. දැන් එම ඉඩම රජයේ ආයතනයකට තැනූ විසාල ගොඩනැගිල්ලක් වී තිබේ. මේ පොල් අතු ගෙයි පදිංචි මගේ වයසේම කොල්ලෙකු සිටියේය. ඔහුගේ පියා කුලී වැඩ කල බව මට මතකය. එහෙත් ඊට අමතරව ඔහු සතුන් දඩයම් කලේය.මේ සතුන් බොහෝ විට ඉත්තෑවුන් වල් හාවුන් හා මීමින්නන් විය. දැන් ශශ්‍රීක ලෙස ගොඩනැගිලි හැදී දියුණු වි ඇතත් එකල ඒ පෙදෙස ඝන කැලෑ බිම්නිසා මගේ මිතුරාගේ පියාට දඩයමෙන් අඩුවක් නොවීය. මගේ මිතුරාද මේ දඩමස් රුචියෙකු විය. හාවන්ගේ මසේ මෙළෙක් බවද ඉත්තෑ මසේ තද ගතිය මෙන්ම තලගොයින්ගේ විස නහර කපනහැටිද ඔහු හොදින් දැන සිටියේය. මේ වයසේදී පමනක් නොව දැන් ගැටවරයෙකු වන මගේ පුතාට කඩියෙකු හා දිමියෙකු අතර වෙනස දැනගැනීමට මම ඉඩක් දුන්නේ නැත. මඩවලක මඩ කලතා ‘විස කටුව ‘ නොවදින ලෙස හුංගො මාලුවන් ඇල්ලූ මම අද වායුසමණය කල ‘ෆිෂ් මාකට්’ එකකටවත් මගේ කොල්ලන් එක්කා යන්නේ නැත. එහිවැරැද්ද මගේ යැයි සිතන්නට මම අකමැත්තෙමි. කෙසේ හෝ ගල උඩ ගෙදර කොල්ලා සහ මා අතර සම්බන්ධය වෙලදාමක් විය. ගල උඩ ගෙදර කොල්ලා ඒ හැම දඩමසක්ම කැන්ද කොලයක හෝ කෙසෙල් කොලයක ඔතා මට ගෙනාවේය. අපදෙදෙනා හමුවූයේ ගල්තලාවට උඩින් වූ ලොකු දෙල් ගහක විසාල අත්තක් උඩය. මගේ ‘ව්‍යාපාරික’ මිත්‍රයා ඔහුගේ අම්මා ඉවූ රස දඩමස් කොටස මගේ ගිජු බඩට යනවිට ඔහු මදෙසබලා හිනාවෙයි. මම ඇගිලිවල ඇදුම්වල පෙරාගෙන කනහැටි ඔහුට විනෝදය ගෙනදෙන්නට ඇත. මගේ කෑම කෑ පසු වෙලදාමේ ඉතුරු ටිකය. සුදු අක්කාගේ කඩේ ලස්සනට බීඩි අසුරන්නට දෙන සුරුට්ටු පෙට්ටියෙන් ලද ඇසිල්ලෙන් ඉනේ ගහ ගන්නා බීඩියක් ඔහුට දෙන්නෙමි. බීඩිය ලැබුණු සැනින් ඔහු ගහෙන් පැන හැල්මේ දුවන්නේය. ආයෙත් ඒ ක්ෂණයෙන් එන්නේ ගිනි පෙනෙල්ලකුදු උස්සාගෙනය. මේ හැතැක්ම බාගේ දුවන්නට ඔහුට විනාඩියක් යන්නේ නැත. ඒ වේගයෙන්ම ගහටද නගින්න්නට දක්ෂ මගේ මිත්‍රයා ගිණිපෙනෙල්ලට කටින් පිඹ ගිනියම් අගුරුකැටයක් පාදාගෙන බීඩිය පත්තුකරනා හැටි මට අදද මැවී පෙනේ. ඔහු මගේ බීඩි හොරකම දැන සිටියේය. මම ඔහුගේ හොර බීඩි බීම ගැන දැන සිටියෙමි. මා ගමෙන් පිටව නුගේගොඩ ඉස්කෝලෙට එනතෙක් මේ ජාවාරම කලෙමි. එහෙත් මා කිසිදිනෙක බීඩි බීවේ නැත. මෙයින් අවුරුදු දහයකටපමණ පසුව නුගේගොඩ හැර දමා හෝමාගම ගෙදර ආ වෙලේ සිගරට් බීමට පුරුදු වූවත් එදා ගල උඩ ගෙදර කොල්ලා සමග දෙල්ගහේ අත්තක වාඩිවී කකුල් පද්ද පද්දා මගේ මිත්‍රයා බීඩි බිව් හැටි බලා සිටියද මම නොබීවෙමි. එකල ‘අද’ මෙන් නොව අයියලාට හා ලොකු අක්කාට මම මහා බයෙන් සිටියෙමි. ඒ නිසා මා එදා බේරිණ. එහෙත් බීඩි හොරකම, දඩමසේ රස නිසා දිගින්දිගටම කරගෙන ගියත්, මේ ලියන මොහොත දක්වා කිසිවෙකු දැනගත්තේ නැත.

Posted in Uncategorized | 4 Comments

Chocolate

සුදු අක්කා එකල මා දන්නා තරමින් අවිස්සාවේල්ල පැත්තේ වැඩකරන අය්යා කෙනෙකු හා ‘යාලු වී’ සිටියාය. මේ අය්යා සෙනසුරාදා ඉරිදා තේ කඩේට පැමිණ සුදු අක්කා හා කතා කර කර සිටියේය. එදාට පොලීසියේ අය වෙනදා මෙන් වන්ඩු ආප්පයක් කන්නට වරුවක් ගත කලේ නැත.වෙනදා විහිලු කතා කීවෙද නැත. තේ වෙලදාමද අඩු බවක් පොඩි එකෙක් වන මටද තේරුනේ ඉතා ලෙහෙසියෙනි. මන්ද එදාට සුදු අක්කාගේ කරුණාව දෙගුන වෙයි.වෙනදාට ඉතුරු නොවන වන්ඩු ආප්ප,ලැවරියා එවන් දවසක පත්තර කොලයක ඔතා මට ලැබෙයි.එහෙත් වෙනදා මෙන් ඇගේ හිතේවෙලදාම ගැන දුකක් නැති වගක් දකින්නට හැකිය. ඒ වෙනසට හේතුව අය්යා ආ හැම වෙලාවලකම වාගේ සුදු අක්කා මා ගෙදර අමතක වූ දෙයක් ගෙනෙන්නට අනිවාරයෙන් යවන නිසා බව මට තේරුනද හැමදාම අය්යා ආ දවසට විතරක් සුදු අක්කාට මේඅමතක වීම ඇතිවන හේතුව නම් මට දැනුනේ නැත. කෙසේ හෝ ඇය සතියපුරාම සතුටින් සිටියාය. සතියේ දිනවල අය්යා කොහේ හෝ සිට අවිස්සාවේල්ල දෙසට පිඹගෙන යන බස් එකක එල්ලී සුදුඅක්කාට අත වැනුවේය. මේ වෙලාව දවසේ කලබලම වෙලාව වුවත් සුදු අක්කා කෙසේ හෝ ඒ අවස්ථාවට පාර අද්දරට අවාය. මෙහෙම එන්නටබැරිවූ දවසක මොකක් හෝ හෙතුවකට මා පාර අද්දරට ආ වේලාවේ පාරේ පිඹගෙන ගිය බස් එකකින් තේකඩය පැත්තට වන්නට කුඩා පාර්සලයක් වීසි උනේය. අද මෙන් එහෙම නාදුනන පාරසල් ගැන බියක් නැති හෙයින් මම පාරසලය අහුලාගෙන දිග හැරියෙමි. බ්‍රවුන්පේපර බෑගයක දමා විසීකර තිබුනේ ලොකු චොකලට් එකකි. මගේ හිත ගැහෙයි…කවුරුන්දෝ කියා දන්නේ නැත. චොකලට් එකල සුලබ කෑමකුදු නොවෙයි. කිසිවෙකුට කියන්නටත් බැරිය. කීවොත් ප්‍රශ්නයකි..ඒ චොලකලටය මට නැතිවනු ඇත. නොකීවොත් මා හොරෙකු වනු ඇත. එහෙත් මේ අවස්ථාව මගහරිනුද බැරිය. තේ කඩය අල්ලපු ඉඩමේ ඇත්තේ දර මඩුවකි. මේ දරමඩුවේ පලන ලද දරවිකිණිමට එක පැත්තක ගොඩ ගසා තිබේ.ඉන් තේකඩය පැත්තටත් දරමඩුව අයිනටත්වන්නට අගුවේ පාරසලය හැංගුවෙමි. ඉන්පසු සුදු අක්කාටවත් නොකියාම පාසල ට ගියෙමි. පාසලට යන්නටත් එන්නටත් වෙන්නේ පයින්ය. වෙනදා පල්ලියෙන් බත් ද කාඑන මම එහි නොගොස් හැල්මේ ආවේ තේ කඩයටය. මගේ හිත තුල ප්‍රශ්න වැලකි. දර හොන්ඩර දෙක තුනක්වත් විකිනී නම් මගේ බෑගය හමුවනු නොඅනුමානය. එක්කෝ බෑගයේ අයිතිකරු පැමිණ එය සොයාගන්නට ඇත. එහෙත් මගේ හිතේ තිබූ කලබලය කාටවත් නැත.බෑගයද එලෙසම තිබේ.සුදු අක්කාටත් මොකක් හෝ කියා මම එදා ගෙදර ආවෙමි. ඒ එන අතරතුර බෑගයෙන් චොකලට කෑල්ලක් කඩා ගත්තෙමි. මෙලෙස සතියම ගෙවෙන විට නානාප්‍රකාර හේතු කියා තේකඩේ සිට දරමඩුවටත් ඉන් පසුව ගෙදර යන පාර දිගටත් එකල මගෙ වයසේ කොල්ලෙකුට කිසිදා නොලැබෙන ‘තඩි චොකලට්ටුවක’ රසවින්දෙමි. මේ සතියේම අය්යා දිගින්දිගටම බස් එකේ සිට අතවැනුවේය. මා දෙස බලා මොකක්දෝ කීවේය. සුදු අක්කා වේගයෙන් යන බසය දෙස බලා අය්යා කියූ දෙය තෙරුම් ගන්නට බැරිව සුසුම් ලෑවාය. සෙනසුරාදා හවස වන විට අය්යා ආයේය. අක්කා මලක් මෙන් පිබිදුනාය. මා බලා හිටියේ අක්කාට ‘අමතක’ වන දේ ගෙන ඒමට ලෑස්තිවෙමිනි. ඒ අතරේ චොකලට් කෑල්ලක රසවිදින්නටය. අය්යා සුදු අක්කාගේ අත අල්ලාගත්තේය….’චොකලට එක කෑවද….කෝ මට පොඩි කෑල්ලක්වත් තිබ්බේ නැද්ද…මම මේ සුමානෙමබස් එකෙ යන ගමන් කියන්න හැදුවෙ ඒක…’ අය්යා තොදොල්වෙයි. ඒ තොදොල්වීම මගෙ කකුල් පන නැතිකරවයි. ‘ඇයි…..මම සදුදා බස් එකෙ යනගමන් විසික්කලානේ ඒක ..ඇයි අර ඔයාලගේ ගෙදර කුලියට ඉන්න කොල්ලා දැක්කනේ ලමයෝ…ඒ කොල්ලා අහුලනවත් මම දැක්කනේ……..’ කතාවේ ඉතුරු ටික කියන්නටවත් ඉතුරු චොකලට් කෑල්ල කන්නටවත් අහුලාගත් ‘කොල්ලා’පැත්ත පලාතක හිටියේ නැත. පුදුමය සුදු අක්කා ඒ ගැන මගෙන් කිසිදා නොඅසන ලද එක නොව ඉන් පස්සේවත් බ්‍රවුන්පේපර් බෑගය පෙනි පෙනී මා කිසිදා එය යලි අතටනොගත් එකය.

Posted in Uncategorized | 1 Comment

සුදු අක්කා

ගමේ සිටි කෙටි කාලය තුල අපි ගෙවල් කිහිපයකට මාරු උනෙමු. සීයලාගේ ගෙදර වරක්ද ඊට අමතරව කුලී ගෙවල් කිහිපයකද අප නවාතැන් ගත්තෙමු. මේ සමහර නවාතැන් මට මතක නැත. ඒ මා කුඩාම නිසාවෙනි. කෙසේ හෝ මට මතක එක තැනක් තිබේ ඒ හන්වැල්ලේ පොලීසිය ඉදිරිපසම කුඩා තේ කඩයක හිමිකාරිණියට අයත් කුඩා නිවසයි. ඇත්තෙන්ම එය කුඩා නිවසක් නොව ඔවුන්ගේ මහ ගෙයින් බෙදා වෙන්කල පිටුපස කොටසයි. අපට ඇතුල්වන්නට තිබුනේද මේ ගෙයි කුස්සිය පැත්තෙනි. මට මතක මෙහි අපි කුප්පිලාම්පු එලියෙන් කෑම බීමේ සිට වැසිකිලි යාම දක්වා සියලු දේ ඉටුකරගත් බවයි. විශාල වත්තක් මැද්දේ අදුරු රුක් ගොමුවක පිහිටා තිබූ මේ නිවස තුල අප මීයන් මෙන් ජීවත් උනෙමු. ගෙහිමි කාන්තාව ලමයින් හයකට හතකට මෙහි නවාතැන් දීම මුලින් ප්ර තික්ෂේප කලාය. ඒ නිසා අප කෑ නොගසා සද්ද නොකර සිටීමේ පොරොන්දුව මත එහි පදිංචි වූයෙමු. අපට කුස්සිය හා කුඩා කාමර දෙකක් බෙදා වෙන්කොට දුන් අතර එහි කුලිය ඉතා සුලු මුදලක් විය. එ මුදල පවා සමහර මාසවල නොදුන් බැවින් කිහිප වරක්ම අපට ඉන් ඉවත්වන ලෙස කියුවද, කෙසේ හෝ මේ මුදල් පියවීමට අම්මා සමත් වූවාය. කුලී නිවස හිමිකාරිණියට මට වඩා අවුරුදු දහයක් හෝ පහලවක් වැඩිමල් දියණියන් දෙදෙනෙකු සිටියාය. ඉන් එක් අක්කා කෙනෙකු සුදු අක්කා ලෙස හැදින්වූ බව මට මතකය. අනෙක් අක්කා ඉගෙනිමට දක්ෂ බැවින් ගෙදරටම වී පාඩම් කලාය. සුදු අක්කා ලස්සන නිසා ඇය තේ කඩයේ වැඩට ඇගේ අම්මා සමග ගියාය. එකල පොලීසියේ සිටි හැමෝම වාගේ තේ තිබහකට නැතත් තේ කඩේ වේල් තුනටම තේ බී කාරනය මට එකල වැටහුනේ නැතත් දැන් තේරුම් ගන්නට පුලුවන. මේ නිසාම තේ කඩේ ආදායම සරු විය. ඒ නිසා උදේ ඉදිආප්ප අලහොදි හා හාල්මැස්සන් බැදුමද, තේ වලට හැලප ලැවරියා හා වන්ඩු ආප්පද උණු කැවුම් මෙන් විකිණී ගියේය. මේ වෙලදාම නිසා ගෙදර නිකන් ඉන්නා විට සුදු අක්කා මටද කතා කරයි. කඩේ පොඩි පොඩි වැඩ පැවරෙන්නේ මටය. තේ වෙලාවට පොලීසියේ රාජකාරි කෙරෙන්නේ සුදු අක්කාගේ කඩ පිලේය. සුදු අක්කා ගැන උවමනාවක් නැති පොලීසියේ අනෙක් අයට තේ , හැලප ලැවරියා රැගෙන යන්නටත් ඕ අයි සී මහත්තයාට වෙනම තේ රැගෙන යන්නටත් මට පැවරෙයි. එකලපවා ගමේ එවුන් මහා බයක් ඇතිකරගෙන තිබූ පොලීසියේ මම මහත් නිදහසේ ඇවිද ගියෙමි. ‘ලොකප්’ එකේ ඉන්නා වෛවාරණ මිනුසුන්ට වතුර ඇද්දෙමි. එකල එහෙම ඉන්නා අයටත් තේ කෝප්පයක් ලැබුණු හෙයින් අතිරේක ලෙස ඒ වැඩද බාර විය. කෙසේ හෝ පොලීසියේ නිල ඇදුම් ඇදි සියල්ලනටම වාගේ මටද තැනක් තිබුනේය. මොකක් හෝ හේතුවකට මේ නිල ඇදුම් අස්සේ සිටි ‘මිනුසුන්’ මට ආදරය කලේය. කාන්තා නිලධාරිණිය මට හැම දාම ගෙදර ගෙනයාමට ‘හාෆ්ෂීට්, කාබන් කොල, පෑන් ෆයිල් කවර’ ආදී පොලීසියේ දේපල දුන්නාය. නමුත් රිමාන්ඩ් ‘කූඩුව පැත්තේ හෝ පිරිමි ක්වාටර්ස්’ පැත්තේ විනාඩි කිහිපයකට වඩා ගැවසෙන්නට නොදුන්නාය. මා විනාඩි කිහිපයක් හෝ දකින්නට නැති විට මා සොයා ඈ රාජකාරි මේසයේ සිටම කෑ ගැසුවාය. මේ වන විට ඈ කොහේ හෝ සිය විශ්රා්මික දිවිය ගෙවනවා ඇත. පොලීසියේ එකලද හිටපු ගමන් මහා කාලකෝලාහල සිදුවෙයි. එදත් චණ්ඩින් ඇවිත් පොලීසිය දෙවනත් වන්නට කෑ ගැසූ හැටි මට හොදට මතකය. ඒ අය පහුවෙනිදා අතපය වෙලාගෙන තව දෙතුන්දෙනෙකුගේ පිහිටෙන් මුලු පොලීසියෙන්ම සමාව ගනු ඊටත් වඩා හොදට මට මතකය. එහෙත් මා මතක් කරන්නට අකමැතිම කාරණය නම්, මේ හැම සිදුවීමකම, කෑගැහිල්ලක, ඝෝෂාවක ඇස් කදුලෙන් තෙමුණු, එහෙන් මෙහෙන් පටලවා ගත් ඇදුම් කඩමාල්ලක ගිළුණු, පොලීසියේ නිල ඇදුම්වලින් එල්ලවන ඝර්ජනා වලින් සැලුණු ආච්චිල අම්මලා බිරින්දන් ආදී ගැහැණු ඇස් කෙවණි වල අගින් කඩා හැලෙන සෙනෙහසේ දුක්ඛ කදුලු කැටය. බොහෝ වෙලාවට මා වැඩ නවත්වා මෙදෙස බලා සිටිමි. රස්තියාදුකාරයෙකුගේ නොමනා වැරද්දකට පොලීසියේ හැඩි දැඩි අතක් එසවෙන හැම විටම මේ ඇටසැකිලි වල ගිලිණු ඇස් වලින් කදුළු කැට කඩා වැටුනේය. ඒ ගහන හැම පාරකම ඒ ඇටසැකිලි තිගැස්සෙන හැටි බලා සිටීම අමාරුය. සමහර විටෙක මේ රස්තියාදුකාරයා කාට හෝ අහින්සයෙකුට ගහන්නට ඇත්තේ මීටත් වඩා දරුණු ලෙස වන්නට පුලුවන. ඒ වුව ‘ අනේ අම්මේ මට ගහන්නට එපා කියන්නැයි’ කෑ ගහද්දී අම්මා කෙනෙකු කරකියා ගන්නට දෙයක් නැතුව බලා සිටින විදවූ හැටි බලා සිටීමට සිදුවීම අදද මා කම්පා කරයි.

Posted in Uncategorized | 1 Comment

විස්කිරින්ඤා

ඇත්තෙන්ම ගම කෙතරම් සුන්දරද…අදද කොහේ හෝ ඈත පලාතක හරිත බිම් කඩක් ඔස්සේ නෙත දිවෙන හැම විටම මට ගම මතක් වෙයි. ඇල පාරවල්..ඝන කැලෑ…ගස් ගෙඩි…මඩකරියන්..ලූල් මාළු …සාරි ගප්පි..බන්ට් එක ටයර් පැදිලි ඕවා මේවා ඇතුලත් දිගුම දිගු සිහිනයක් බදු ගම මට මතක් වෙයි. ඒ සුන්දරකම යටින් දිවෙන කටුක කම මතක් වෙයි. ඒ අතරේ ගමේ අපේ අතීත කතා මතක් වෙයි. ඒවා කටුක වුවත් කොයිතරම් සුන්දරද..මම දෙකේ පන්තියේදී විතර තාත්තාට රැකියාව අහිමිව තිබුනේය. ඒ කාලයේ තාත්තා වැඩිපුරම බිව් කාලයයි. තාත්තාගේ රැකියාවේ තාත්තා විසින් පිහිටුවූ වාර්තාවක් තිබේ. අවුරුදු විසිහතක් හෝ අටක සේවා කාලයෙන් තාත්තා හිටියේම දඩුවම් නිවාඩු ලබමිනි. ඒ හැම කාලයකම තාත්තා වැඩිපුර බිව්වේ හිතේ දුකට වෙන්නට ඇති කියා මම මගේ හිතට බලකරමින් සිටිමි. කෙසේ හෝ මේ කතාව තාත්තා ගැන නොව. එහෙම කාලයක අපව කබලෙන් ලිපට වැටුනේය..එහෙම වෙලාවක අපි එකිනෙකා බදාගෙන පැදුරුවල බඩවල් යටකරගෙන නිදාගත්තෙමු. බඩගිනි වැඩිම වූ වෙලාවට අම්මාගෙන් කන්නට ඉල්ලුවෙමු. තාත්තා මහරෑ දෙගොඩහරියේ කෙලින් සිටින්නට බැරි තරමට බී මේ කිසිවක් නොදන්නා මෙන් නිදියාගෙන සිටිද්දී අප අම්මා පස්සෙන් ගියෙමු. තාත්තාගෙන් කන්නට ඉල්ලන්නට බැරි මොකොක්දෝ ගුප්ත බයක් අප හැමෝටම තිබිණි. එහෙම බයක් නැතුව හිටි ලොකු අය්යා එකල කාගේ හෝ ගෙදරක නැතිනම් පන්සලක නතර වී සිති බව මම අසා තිබේ. කෙසේ හෝ අම්මා රස්සාවකට ගියාය. කලිසං ඇදි මහත්තයෙක් දවල් දහය දොලහා වන තුරු නිදියාගෙන ‘බීමත’ නැති කරගන්නට දහදුකක් විදිද්දී අම්මා එකල ගමේ පාලම හදන තැන පස් කපන්නට ගියාය. මගේ මතකයේ එක කොනක අම්මා පස් පිරවූ කූඩයක් ගෙන අඩක් ගං වතුරෙන් පෙගීගෙන පස් අදිනා රූපයක් තිබේ. ඒ රූපය දකින හැම විටම අවුරුදු හතක විතර කොල්ලෙකු ඒ කුඩා ගොඩනැගිල්ලක් ඉදිරිපිට තව හතලිහක් පනහක් පිටුපස්සෙන් පෝලිමක කල්මරමින් ඉන්නා හැටි මතක් වෙයි. මේ පස් කැපිල්ලට ඉතා සුලු මුදලක්ද…හාල් පරිප්පු සීනී ඇතුලත් බඩු මල්ලක්ද තිබුනේය. මුදල් පස් කැපිල්ලෙන් පසු හවසම ලැබෙන අතර..බඩු මල්ල ගැනීමට අම්මා එනතුරු පෝලිමේ තැනක් අල්ලා ගත යුතුය. නැත්නම් උයා පිහා කනවිට රෑ වන්නේය. මේ පෝලිමේ හැම විටම තැන අල්ලාගන්නේ මාය. අම්මා ඇගපත හෝදාගෙන එනවිට දෙවනි අයියා එක්කාගෙන එයි …මා පොඩි නිසාද දුර්වල නිසාද බඩු මල්ල උස්සාගෙන දෙවනි අය්යා බඩුමල්ල උස්සාගෙන යයි. අම්මා ඒ එනවිට විස්කිරින්ඤා අරන් එයි. මම පෝලිමේ හිටිය එක ගැන ලැබෙන සන්තෝසම එයය. ඉතින් අපි අම්මා පිටුපසින් ගෙදර යන්නෙමු …හැකිනම් සිතෙන් මවාගන්නට මේ කියවන ඔබට හුරුබුහුටි චිත්‍රයක් මවා ගත හැකිය. අම්මා සාරිය ඇන්දාය සෙරෙප්පු දැම්මාය ඇය එක අතක එලවළු දෙකක් දැමූ බෑගයක් ගෙන ඉදිරියෙනි. තවත් කලු කොල්ලෙකු හාල් සීනී පරිප්පු පිරවූ ගෝනි බාගයක් කරේ දාගෙන ඒ පිටුපසිනි…ඔහුට වත් ඉන් පිටුපසින් එන තලෙළු කොලුවාටත් සෙරෙප්පු නැත. ඒ පසුපසින්ම එන තලෙළු කොලුවාගේ අතේ ‘හතර මහා නිධානය’ නම් වූ විස්කිරින්ඤාවකි…ඔහුගේ සිනාව ඔබට හිතාගන්නට පුලුවන්ද?

Posted in Uncategorized | 1 Comment

බාප්පා

ලොකු අම්මා ඉතා වැදගත් රජයේ උසස් රැකියාවක්කල කෙනෙකු සමග විවාපත් ව සිටියාය. මේ මහප්පා මා කිසිදිනෙක දැක නැති අතර ලොකු අම්මා කිසිදාක ඔහු පිළිබද ද්වේශයෙන් කතා නොකලාය. ඇයටද අපේ සීයාගෙන් යම් දේපලක් හිමිව තිබූ අතර ඔය කී මහප්පාගෙන් ඕනෑවටත් වඩා සැප සම්පත් ලැබී තිබුණාය. එහෙත් සැප සම්පත් වලට අමතරව මහප්පාගේ කාර්ය බහුලකම ලොකු අම්මා වෙනත් ඕනෑම ගැහැණියක මෙන් බලාපොරොත්තු වූ ආදරය සෙනෙහස ලෙන්ගතුකම ඈත් කර තැබුයේය. ලොකු අම්මාට ඕනෑ තරම් නිදහස තිබිණි..මිල මුදල්ද තිබෙන්නට ඇත. ගේ දොර හා ඒවායේ වැඩට සේවකයන් ඉන්නට ඇත. එහෙත් වැඩිමහල් පුතෙකු හා බාල දියණියකගේ මවක් වූ ඇය මට මතක කාලයේ දකින විට..අප බලන්නට නුගේගොඩ සිට හන්වැල්ලට එන විට සිය දියණිය සමග තනිව ආවාය. ඒ වන විටත් ඇය මහප්පාද දේපල ඉඩකඩම්ද සිය ආදරණීය පුතාද මහප්පාගේ අයිතියට දී මහප්පාගේම වත්තක වැඩ කල මා දැක ඇති සමග ආවාය. එකල බොහෝ කරදර සිදුවන්නට ඇතත් අප මේ කලබල වලට සම්බන්ධ කරගත්තේ නැත. අපට තිබුණේ ලොකු අම්මාගේ දියණිය සමග සෙල්ලම් කරන්නටය..ඇය බලාගන්නටය. ඒ නිසාම මට මේ කාරණා ගැන දැනීමක් ඇත්තේම නැත. අනෙක ලොකු අම්මාගේ සරල, විනෝදකාමී ජීවිතය අපට කිසි වෙනසක් දැන්වූයේ නැත. ලොකු අම්මා දවස් ගනන් ..රෑ පහන් වනතුරු අඩන්නට ඇති බවද, තම පිරිමි දරුවාගෙන් වෙන් වන්නට සිදුවීම ගැන සදා තැවෙන්නට ඇති බව මට අද සිතා ගන්නට පුලුවන. එහෙත් අදද ඇය අර සරල විනෝදකාමී ගැහැණියමය. මට හිතෙන්නේම මේ ගැහැණිය සිය ජීවිතයෙන් වෙන්කරවාගත් මහප්පා ලොකු අත්වැරද්දක් කල බවය.ඇගේ පුතා අද විදේශ ගතව හොදින් ජීවත් වෙයි. ඔහුව මා දැක ඇත්තේ ඡායාරූප කිහිපයකින් පමණි. ඔහු ජීවත් වන රට මට හුරුපුරුදු තැනක් වූවාට ඔහු හමු වීමට හෝ සම්බන්ධකමක් ඇති කරගැනීමට මගේ කිසිදු අදහසක් නැත. ඒ සබදකම ඉතාම දුරස්ථ එකකි. ඒ බව ලොකු අම්මාගේ කීමකට ඔහුට දුරකතනයෙන් කතා කල වෙලේ මට දැනුනේ..මගේ අම්මා මා සමග හොදින් මේ රටේ ඉදී…ඔබ කතා කරන ඔය ගැහැණු කෙනා මා දන්නේ නැත..යනුවෙන් කී විටදිය. ඔහුගේ කුඩම්මා ඔහුව තම දරුවෙකු මෙන් බලාහදාගෙන ඇත. ඉතාම කුඩා කල මගේ අම්මා මා හැර ගියානම් මටද මේ හැගීම එනු නිසැකය. මන්ද මට ඇත්තේ පොතපතේ ලිය ඇති මෙන් හිතක් නොව ලේ මස් නහර වලින් හැදී ඇති සිතක් නිසාවෙනි. අවසානයේ ලොකු අම්මා සීයාගෙන් උරුම වූ නුගේගොඩ මහගෙදර සිය දියණියත් ඒ මහා නපුරු බාප්පාත් සමග පදිංචියට ආවාය. ඔහු එකල මහා නරුමයෙකු විය. ලොකු අම්මා ඇති පදම් ගුටි කෑවාය. දියණිය ඔහු කෙරේ මහා බියකින් පෙලුණාය. එහෙත් ඔහු එක පැත්තකින් ඒ දෙදෙනා බලා කියා ගත්තේය. ඒ පිළිබදව ලිවිය යුත්තේ මා නුගේගොඩ පදිංචියට ආ පසුය කතාවෙනි. එ නිසා ඒ ගැන පසුව ලියමි. මේ වන විට කාලය..වයස හා ආර්ථික අපහසුතා නිසා ඔහු අර කී නරුම චරිතයෙන් වෙන්ව හොද මිනිහෙකු වී තිබේ. මිනිස් ජීවිත වල හැටි එහෙම බව සිතීම හරි පුදුමයකි. මා දැනටමත් සිතන්නේ අපට අපේ ජීවිත මෙයාකාර යැයි ‘ප්ලෑනක්’ හදා ගැනීමට බැරි බවය. මේ තත්පරයෙන් පසු මා වෙනස්ම මිනිහෙකි. ඊලග තත්පරය ගන මා දන්නේ නැත.

Posted in Uncategorized | 2 Comments

ලොකු අම්මා

අපේ අම්මාට අක්කා කෙනෙක්ද මල්ලී කෙනෙක්ද ඉන්නා අතරේ අඩු වයසෙන් මියගිය අයියා කෙනෙකු ගැනද පවුලේ අය කතා වෙනු මම අසා තිබේ. වයස දහනවය විස්ස කාලයේ මියගිය මේ අයියා නමට නොව ජීවිතයම සමාජවාදියෙකු බවද එකල නම් කී ප්‍රසිද්ධ සමසමාජ කණු සමග එකට වැඩ කල බොහෝ දෙනෙක් ආදරය කල කෙනෙකු බව ද කවුරුන් හෝ දුන් වසක් ශරීරගත වීම නිසා හදිසියේ මළ බවද අම්මා කියනු මට ඇසී තිබේ. හදිසියේ ඇතිවූ අමාරුව නිසා වාහනයට දා ගත් පසු ඔය කී මාමා දුන් පයින් පහරකින් දොරක් ගැලවී වැටුනු බව අම්මා දුකෙන් කියන්නී මම දැක තිබේ. එහෙත් ඒ මාමා මියගොස් තිබුනේ අප ඉපදෙන්නටත් පෙර නිසා අපගේ මතකයේ ඔහු නැත.
මට මතක ඇති අය අතරට අම්මාගේ අක්කා ලොකු පරාසයක් හිමිකරගන්නීය. හන්වැල්ලේ හෝ අවිස්සාවේල්ලේ සිට මට අවුරුදු හතර පහ වයසේදී අම්මාගේ තනේ එල්ලී කිරිබීම නතර කරගනු බැරිව මා දෙල්කද ගෙන්නාගෙන හරිහැටි කෑමක් බීමක් නැති අම්මාව ඒ කර්මයෙන් ගලවා ගත් හැටි පසුකලෙක ඈ මහා හය්යෙන් කියනා විට මා ලැජ්ජාවෙන් ඇලිල ගියෙමි. තවත් වරෙක ඈ මා සියල්ලන් ඉදිරියේ අපහසුතාවකට පත් කරමින් අඹ රඹුටන් වාර වල උදේ සිට හැන්දෑ වන තුරුම ගස් ගෙඩිම කා ඇග පුරාම හොරි හදාගෙන කස කසා සිටි කාලවල මා දෙල්කද එක්කාගෙන ගොස් සනීප කල හැටි කියන්නීය.ඊටත් වඩා ලැජ්ජාව හොරිත් හොදවී කාලයක් යනතුරු ‘අහවල් එක’ කස කසා හිටි හැටි ඈ රගපාමින් කියන එකය. ලොකු අම්මා මා දන්නා කාලයේදී අපව බලන්නට එනවිට මහා බඩු මල්ලක් උස්සා ගෙන ආවාය. එහි පවුලේ සැමටම වාගේ ඕනෑ දේවල් තිබුනේය. විශේෂයෙන් පොඩි එවුන් වූ මගේ ලග අක්කාටත් මටත් කඩචෝරු හා පළතුරු වර්ග තිබිණි. ඈ එන්නේ සුමාන දෙකකට සැරයක්ය. මෙ දවස මට නම් ලෙඩ දවසකි. සියලුම කොල්ලන් එදාට මගේ ලෙඩේ ගැන දනිති. එහෙත් හේතුව නොදනිති. දෙල්කද පොළෙන් ලොකු අම්මා ගෙනෙන බූන්දි, පුහුල්දෝසි තල කැරලි හා යාපනේ බට් ගහේ සුවද හමන අඹ සෙල්ලමට එන්නට බැරි ‘ලෙඩේ’ බව උන් දැන සිටියානම් උන් මා කිසිදා පහුවෙනිදා සෙල්ලමට ගන්නේ නැත. ඒ කෑම බීම ටත් වඩා අප ආසා කල තවත් දෙයක් තිබිණි..ඒ ඇගේ හිනාව සහ නොනවතින රස කතාවයි. ඈ අප අපම ගැන, අපේම අය ගැන රගපාමින් කියන කතා ‘නරඹමින්’ අපි බඩවල් අල්ලාගෙන සිනාසුනෙමු..ඇගේ පැමිණීම අපට අවුරුදු මෙන් රස කෑම සහ සතුට ගෙනාවාය.පහු කලෙක මගේ ලොකුම අයියා විදේශගතව පැමිණෙන සැම නිවාඩුවකටම වාගේ ඈ අපේ ගෙදර එක්කාගෙන ආවේය. ඔහුද පොඩි දරුවෙකු මෙන් ඇයගේ සුන්දර කතා රස වින්ද හැටි තවම මට මතක තිබේ.. අපි පැදුරු එලාගෙන මහ රෑ වනතුරු කතා අසාගෙන සිටියෙමු. (සමාවෙන්න මෙය කියවන් ඔබට අමුතු වූවාට මට ම කියා ඇදක් හිමිකරගැනීමට මට පලමු රස්සාව ලැබ තිස්සමහාරාමය පැත්තේ සුන්දර හෝටලයක රස්සාවක් ලැබීම හේතුවිය.)මේ කතා අහන කාලයේ ඇය තම පෞද්ගලික ජීවිතයේ අදුරු අත්දැකීමක් අත්විදිමින් සිටියාය. සමහර විට ඇය ඒ ‘සිදුවීම්’ එකල දුකක් සේ නොසිතන්නට ඇත එහෙත් පසු කලෙක ඈ ඒ තීරණය නිසා අපමණ දුක්විදි බව මා අත්දැකීමෙන්ම දනිමි.

Posted in Uncategorized | 2 Comments

මාමා

අපේ අම්මාගේ මල්ලී නොහොත් අපේ මාමා තාත්තාගේ ගමෙන් විවාහයක් කරගෙන සිටියේය. ඔහුගේ මස්සිනා නොහොත් අපේ තාත්තා දෙමස්සිනෝ හොද මිතුරු සබදතාවක් පවත්වාගෙන ගිය බව අම්මා සමහර වෙලාවට කියන දේ වලින් තේරේ. අඩියට පුඩියට දෙකටම දෙමස්සිනෝ ගජේ දමා ගිය කතාද ඒ අතර වෙයි. මේ මාමා යුධහමුදාවේ සාජන්වරයෙක් දක්වා සේවය කොට පසුව විශ්‍රාම ගිය අතර මා දන්නා තරමට ඔහු හමුදාවේ දක්ෂ රියදුරෙක් විය. අම්මා ඒ දවස්වල කියන කතා අනුව මාමා කලක් යාපනය ප්‍රදේශයේද සේවය කොට ඇත. එකල යාපනයෙන් ගෙනවිත් පැල කල බට් අඹ ගස අපේ නුගේගොඩ ගෙදර ඉස්සරහා මහා විසාල ලෙස වැඩී හැමදා ඵල දෙන මහා වෘක්ෂ රාජයෙක්ව පැවතිණි. මේ අඹ ගස අපේ කුස පිරවූ හැටි පසුව ලියමි. කෙසේ හෝ අම්මා හා ලොකු අම්මාගේ කතා අනුව මාමා හමුදා සැපයුම් අංශයට මාරු වූ දා සිට කරවල උම්බලකඩ මාලු පරිප්පු වල අඩුවක් නොතිබූ බව නොරහසකි. මාමා නුගේගොඩ හයිලෙවල් පාර අද්දරම පිහිටි අපේ ගෙයි ඉස්සරහා නතර කරන විසාල හමුදා ට්රක් රථයෙන් මේ කළමනා ගෙනවිත් අම්මාටත් ලොකු අම්මාටත් දුන් කාලයේ අප කුඩා වුන් ලෙස ඉන්නට ඇත. එහෙම ගෙනාවාය කියා මම දැක නැතත් ඒ “අහින්සක හොරකම’ (මේ බඩු වලට මාමා මුදල් ගෙවන්නටත් ඇත.) අදටත් මම හිත හොද කම ලෙස සිතමි. එහි වැරද්දක් තිබුනාට කමක් නැත. ඒ වැරද්දක් නොවන “වැරද්දේ” ආනිසංස ඔහුට ලැබී , දූ දරුවන්ගේ ආදර සැලකුම් මැද මාමා අදටත් හවසට පොඩි අඩියක් දා සොමියේ සිටී. කෙසේ හෝ තාත්තාගේ පිහිටෙන් ගමට ආ මාමා එහිම අවුරුදු කුමාරියක වූ නැන්දා සමග විවා වී ගංකාරයෙකු වූයේය. ගංකාරයෙකු පමණක් නොව මස්සිනාටම සරිලන ජාතියේ ගං බේබද්දෙකුද වූයේය… නුගේගොඩට එනතෙක් මා තුල ගම පිළිබද ඒ තරම් මතකයක් නැත්තේ ඒ වන විට මා දෙවනශ්‍රේණියේ පොඩි එකෙකු වීම නිසාය. ගම හා සම්භන්ධය ඇතිවූයේ හැම නිවාඩුවකටම ගමේ ඒම පුරුද්දක් වශයෙන් කෙරුණ නිසාවෙනි.දෙකේ පන්තිය තෙක් ගමේ තැන් දෙක තුනක අපි කුලී ගෙවල් වල උන්නෙමු.මේ නිවාඩුවේ සීයාලගේ ගෙදර ප්‍රධාන නැවතුම් මධ්‍යස්ථානය වූවාට මම ආසාම කලේ මාමාගේ ගෙදර ඉන්නටය. මාමා කලක් සිය මාමණ්ඩියගේ ගෙදර දරුවන් සමග නතරවී උන් අතර පසුව ඇතිවූ නෝක්කාඩුවක් මත මැටි ගැසූ තහඩු සෙවිළි කල තමන්ගේම නිවසක පදිංචියට ගියේය. මාමාගේ අපේ වයසේ දරුවන් සමග නිවාඩු කාලය ගතකිරීම විනෝදජනක විය. අපේ රස්තියාදුව පටන් ගැනෙන්නේ උදේ පාන්දරනි. බයිසිකල් රිම් පැදීම, ටයර් පැදීම, ගස් නැගීම, කැටපෝල විදීම උදේ වරුවේ වැඩසටහනට අයතිය. ඒ වැඩසටහනට උදේ අහාරයක් අදාල නැත. ගස් ගෙඩි ඕනෑ තරම් අපේ බඩවල් පුරවන්නේය. කුරුම්බා නම් හොද ලොද ඇතිය..පේර පොලිෂ් කලා මෙන් ගස් උඩ බබලයි, පිනිජම්බු අරවා මේවා එලෝකෝටියක් පලතුරු වර්ග ගම වටේම තිබේ. ඉතින් මොන “බ්රෙක්ෆස්ට්ද”? අන්තිමේ ඇලවල් දිගේ මඩනාගෙන හුංගන් මාලු අල්ලාගෙන බාල්දි වල මඩත් එක්කම හවස ගෙට එන්නේ බත් බඩගින්නේය. නැන්දා රසට උයන්නීය …කරවල නම් සුඛෝපභෝගී කෑමකි. එහෙව් එකේ ඉතිරිය ගැන කුමට කතාද… තුඹ කරවිල හොද්දක් සමග තුඹ තෙල්දාලා ද, හීනියට ලියා ගත් තුඹ මැල්ලුමක් සමග අපි එදා බත් පිගන් පිටින් ගිල දැම්මෙමු. නිවාඩුව ඉවරව ඇවිත් පින්තූර දෙස බලාගෙන මස් මාලු ධාන්‍ය පලා වර්ග ඇති සමබල අහාර වේල් ගැන කලු ලෑල්ලේ උගෙනගත්තෙමු.

Posted in Uncategorized | 1 Comment

ගමේ පන්සල් දෙකක් තිබුණේ මුත් අපි වඩාත් ප්‍රියකලේ පොඩි පන්සල ලෙස හදින්වූ එකල අලුතෙන් පටන් ගත් පන්සලට යන්නටය. මහ පන්සල විසාල එකක් විය. එහි ඉඩම් වපසරියට බොහෝ දේ අයත්ව තිබුනේය. එහි එක් ඉමක් අපේ සීයාගේ වත්ත කොනකටත් ඈදී තිබිණි. එහෙත් ඒ පොල් දෙල් කොස් වලින් ගමේ අයට ලැබුණු දෙයක් නැත. ඒවා ආරක්ෂාවට සිවුරු බැද සාංගික කොට තිබෙනු මට මතකය. එහෙත් ඒ ගැන කතා කරන්නට කිසිවෙකුද ඉදිරිපත් වූයේ නැත. පන්සලේ කදු ගැටයක් මත කලින් අපවත් වූ හාමුදුරුවරුන්ගේ සිරුරු මිහිදන් කල කුඩා චෛත්‍ය වැනි මහා භයංකාර වැස්සට අව්වට වේලී අලුපැහැ ගැන්වූ අදුරු ගුප්ත ඉදිකිරීම් මා ඇතුලු ගමේ කොල්ලන් බය කර තිබුනේය. වැඩිහිටියන් සියලු දෙනම පාහේ මේ මහ පන්සලට ගියේ යන්නන් වාලේ බව අදද මට මතකය. ඊට හේතුව කුල ප්‍රශ්නය, දේපල, ආදායම් බලපෑ බව මට ඒ කාලයේ තේරුම් ගියේ නැතත් ඒ අදුරු ගුප්ත පන්සලට මම ඇලුම් නොකෙලෙමි. අලුත් පන්සල ඊට හාත්පසින්ම වෙනස් තැනක් විය. හාමුදුරුවෝ අපට දුරස්ථ නොවූහ. පන්සලේ සීමාවේ හැම දේකම අපේ අත්දකීමක් තිබිණ. අරලිය ගසක මලක් ආවිට ” ඒ මම හිටවාපු ගහේ මල් ” යැයි කියන්නට කෙනෙක් ඉදිරිපත් වෙයි. තව කෙනෙක් ” බලපං ඔය ආවාසේ බිත්ති බදිනකොට මමයි වැලි ඇද්දේ..” කියා ආඩම්බර වෙති. පන්සලේ මට මතක ඇති කාලයේ හිටියේ දෙනමකි. ඉන් ලොකු හාමුදුරුවෝ මටනම් අමුතු ගති ඇත්තෙකු විය. ” මල් ගස් නං ඕන තරන් තියෙන්නෙ ලමයෝ..නරකද අඹ ගහක් ජම්බු ගහක් ගස්ල්බු ගහක් හිටෙව්වොත්…” මල් ගස් අනුන්ගේ ගෙවල් වලින් උදුරාගෙන එන විට හාමුදුරුවන් අසයි. කෙල්ලන් ඇඹරෙත්ම ..හා හා ඔන්න ඔය වැට දිගට හිටවන්නකො එහෙනං ..හැබැයි පලතුරු ගහක් වැව්වා නං මල් ගස් වලට වගේ සමනල්ලු මී මැස්සෝ විතරක් නෙමෙයි කුරුල්ලොත් එයි. කූඩුත් හදයි..පැටවුනුත් හදයි.. ” කියා මද සිනාවක් පාති. අපි එදා සිට පළතුරු සිටෙව්වෙමු. මගේ ප්‍රියතම පළතුර වූ ගස්ලබු හිටවා, ඵල ආ පසු ඉදුනු ගස්ලබු ගෙඩිද ගෙන මහා උජාරුවෙන් ලොකු හාමුදුරුවන් වෙත ගොස් පූජා කලෙමු. හාමුදුරුවො අද කාලේ ඇමති කෙනෙකු සයිස් එකට අප පිළිගනිති. ඉදගන්නටත් දෙති. ” අගෙයි..බොහොම අගෙයි..මෙතන තියන එක ගෙඩියක් කපලා..පුන්චි කෑල්ලක් බුද්ධපූජාවට වෙන් කරන්ඩ…අනික් ලොකු කෑල්ල බාගයක් පොඩි හාමුදුරුවන්ට දෙන්ඩ..ඉතිරි බාගේ අඹගහේ කුරුපාවෙන් තියන්ඩ. අනික් ගෙඩි ඔය ලමයි ඕන විදියකට බෙදාගන්ඩ. යන ගමන් ගහ ලගට ගිහින් ගහ අතගාල පින් දීලා යන්ඩ..” මා බලාපොරොත්තු වූයේ ගෙඩි සියල්ලම ආවාසගෙට දන් දෙන්නට හා ඉන් මහා පින් සම්භාරයක් එකතු කරගන්නටය. එහෙම එකක් නැත. හාමුදුරුවන් කී සියල්ල කර පසු පන්සලෙන් එනවිට අඹගහේ ලේන්නු රොත්තක් ගස්ලබු බෑයට වහවැටී සිටිනු මට මහා සතුටක් ගෙන ආයෙය. එහෙත් ගස්ලබු ගහට වදින්නට තරං ඉස්පාසු සිතක් මට එදා තිබුනේ නැත.

Posted in Uncategorized | 1 Comment

ගමේ ආච්චී

අපේ තාත්තාගේ අම්මා අප දකින කාලේ වනවිටත් බොහෝ වයසට ගොස් සිටියාය. රෙද්ද හැට්ටය ඇදි ඇය වචනයේ පරිසමාප්තයෙන්ම ගැමි ගැහැනියක් වූවාය. ඇයට කට පිරෙන්නට හිනාවක් තිබිණි. එහෙත් ඇයට එතරම් ලස්සන දත් දෙපලක් තිබුනේ කෙසේදැයි කියන්නට මට ඒ තරම් තෙරුමක් තිබුනේ නැත. එහෙත් එක්තරා දවසක කරවල හොද්දක් උයද්දී ගැලවී වැටුණු කෘතිම දත් ඇන්දක් අපේ පවුලේ කෙනෙකුට හමුවූ හැටි මට ඇසීමෙන් පසු මම ඇගේ සිනහව හදුනාගත්තෙමි. මට මතක හැටියට ඈ මහා හයියෙන් හිනාවෙයි. තාත්තාගේ පවුලේ ඒ අම්මා සහ තාත්තාගේ නංගිලා දෙන්නාම අපව ඇමතූයේ එක්කෝ මහත්තයෝ නැත්නම් මගේ අක්කලා තිදෙනාව නෝනේ යනුවෙනි. එයට හේතුව මම නොදනිමි. එහෙත් ඔවුන් අපට ඇත්තටම එසේ ආදරය කල බව නම් සැකයක් නැත. කෙසේ හෝ මේ ආච්චී අපේ තාත්තාගේ කුඩම්මා වූවාය. නමුත් ඇය ඇගේ දරුවන් දෙදෙනා වූ තාත්තාගේ නංගිලා දෙන්නාට වඩා බොහෝ සෙයින් ආදරය කල බව මම හොදින් දනිමි. ඒ දවස්වල තාත්තා වැසිකිළි ගියත් ආච්චී නැන්දලාට කෑගසන හැටි මට ඇහී තිබේ. ” කෝ අර ලැට් එකේ වතුර පිරෙව්වද…උඹල ඒක හෝදලද තියෙන්න..ඕං අය්යා යන්ඩ හදන්නේ…පලයල්ලා ..වතුර තියනවද බලපල්ලා…” නැන්දලාද මොන වැඩක හිටියත් දුවන් මම දැක තිබේ. එහෙම ආදරයක් ගෞරවයක් අපේ තාත්තාට ලැබුනේ ඇයිදැයි කියන්නට මම කිසිදිනක කාගෙන් හෝ අසා නැත. ඒ ගෞරවයත් ලක්ෂ දහයක ස්වීප් එකක් නිසා නැතිකරගත් කතාවක් පසු කලෙක මා දැනගත්තෙමි. සල්ලි නිසා එහෙම දේවල් වෙයි.. ඒ කතාව පසුව ලියමි. ගමේ ආච්චී මටද විශේෂ ආදරයක් දැක්වූවාය. මට ගස් නගින්නට ඉගැන්වුයේ මේ කී ආච්චීය .. සීයාගේ ගෙට පිටුපස්සේ අති විසාල “ගඩුගුඩා” ගහක් තිබිණ. මේ ගහ බදන්නට බැරි තරමේ ගහකි. මාස තුනකට වරක්වත් අපි සීයාගේ මහගෙදර එන තෙක් මේ ගහ වටේ අනින හරකෙක් බැද තිබේ..නැත්නම් කටු අකුල් හේත්තු කර තිබේ. මහත්තරු එනතෙක් ආච්චී මේ ගහ රකින්නේය..ගෙට ඉදිරිපස තුන්සියහැටපහ දවසම ගෙඩි එන නමිනං ගහක් තිබේ..එහිද උරුමකරුවෝ අපිය.. ගෝනි ගැටගගහා සීයා එවා රකින්නේ අපටය.කෙසේ හෝ අප ආ පසු ආච්චී මට ගඩුගුඩා ගහට නගින හැටි කියා දෙන්නීය. පොල්පිති හරක් කෙලින් අතට ඔලුව තියෙන විදියට කපා තිබේ. මේ පොල්පිති ඉණිමග අඩියෙන් ඩිය දිගු වන සේ කෙලින් ගඩුගුඩා ගහට හේත්තු කොට තිබේ. ඉන් ගහට ගොඩවීම ලෙහෙසිය. ඉන්පසුව ආච්චි අම්මාගෙන් උපදේසයකි..” මහත්තයෝ හයිය අත්තක් අල්ලගෙන පල්ලෑහින් තියෙන පොඩි අතු හයියදැයි බලන්ඩ කකුලෙන් ඇනලා බලන්ඩ ඕනෑ…හයිය නං මහත්තයෝ ඉලාස්ටික් වගේ නැමෙයි. ඕං එහෙමනං හයිය අත්ත අතාරිමු…” සමහර හයිය අතු ගහන ගහන වාරයක් පාසා නැමී දිගහැරෙනු මිස ජිරි බිරි ගා බිදෙන්නේ නැත.(කෙසේ වෙතත් ඈ මට ඉතාම ලෙහෙසියෙන් කියා දුන් ඒ ජීවන පාඩම මට මගේ, ජීවීතයට එකතු කරගන්නට මට බොහෝ කාලයක් ගියේය.) ඇගේ උපදේස නිසා අතපය නොකැඩී රස බේරෙන “තඩි සයිස් ” ගඩුගුඩා රිකිල්ලකම රස බලන්නෙමි. ගඩුගුඩා ගැන විස්තර කරන්නට මගේ කැමැත්තක් නැත. ඒවා දන්නා අය දනිති. අපේ ආගමනය සමග වටේ කොල්ලෝ කෙල්ලෝ බුරුත්තම එති. එවිට ආච්චි අම්මා පරල වෙයි..” යකෝ මහත්තුරු ආවා විතරයි..ඇයි තොපිට සාගතේද….පලයව් යන්ඩ…පස්සේ වරෙව්…” ගහේ උන් ඔක්කොටම ඇතිවෙන්නට තිබුනත් ඊට ඉඩක් නැත. එහෙත් ගහෙන් බහින විට මම ගඩුගුඩා ඉති කිහිපයක්ම ගෙන උන් හොයා යමි. ගඩු ගුඩා දෙන්නේ ආදර‍යට නොව සෙල්ලමට හෝ උන් මා නාන්නට හා සෙල්ලමට යන දවසක බන්ට් එකෙන් පහලට තල්ලු කරාවිද යන බයටය.

Posted in Uncategorized | 1 Comment